ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින අතර එම පද්ධතිය ඉදිරි පැය 36 තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ළඟා වනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා.
මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා.උතුරු, උතුරු මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව නිවේදනයේ සඳහන්.එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.