අධිකරණ නියෝග දෙකක්, කැබිනට් තීන්දුවක් හා මානව හිමිකම් කොමිසමේ නිර්දේශවලින් පානම ජනතාවගේ ඉඩම් අයිතිය පිළිගෙන තිබිය දී ප්‍රාදේශීය ලේකම්වරයා අත්තනෝමතික ලෙස පානම ජනතාව සිය ගම්බිම්වලින් නෙරපා හැරීමට කටයුතු කර ඇත.පානම රාගම්වෙල සිය මුල් ඉඩම්වල පදිංචි ජනතාවට ප්‍රාදේශීය ලේකම්වරයා ඉකුත් මැයි 24 වනදා ලිඛිතවම දැනුම් දී ඇත්තේ ජුනි මස 30 වන දිනට පෙර දැනට පදිංචි ස්ථානවලින් වහාම ඉවත් වෙන ලෙසය.ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිපියට හා නියෝගයට එරෙහිව පානම ජනතාව සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ ඉකුත් ජුනි මස 21 වන දින පානම දී විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයේ p/8455 නඩු තීන්දුවට අනුවත් එම අධිකරණයේම p/5507 නඩු තීන්දුවට අනුවත් අධිකරණය පානම ජනතාවගේ ඉඩම් අයිතිය පිළිගෙන තිබේ. ඊට අමතරව HRC/AM105/10/B/OT යටතේ මානව හිමිකම් කොමිසමේ පවරා තිබූ පැමිණිල්ලේ විමර්ශනයට අනුව මානව හිමිකම් කොමිසම ද නිර්දේශ කර ඇත්තේ පානම ජනතාවට සිය මුල් ඉඩම්වල පදිංචි වීමට බාධා නොකරන ලෙසයි. මීට අමතරව 2015-02-11 වන දින ජනපති සහ අගමැති මැදිහත් වීමෙන් රැස්කළ කැබිනට් මණ්ඩලයේ ද ඒකමතික තීරණය වී ඇත්තේ ගුවන් හමුදාවට අයත් අක්කර 25ක භූමිය හැර ඉතිරි භූමි ප්‍රමාණය පානම ජනතාවට ලබා දිය යුතු බවය.ගුවන් හමුදාව විසින් පානම රාගම්වෙල ජනතාවට අයිති ඉඩම් අක්කර 365ක් තවමත් අත්පත් කරගෙන සිටිනු ලැබේ. කැබිනට් නිර්දේශය වී තිබුණේ අක්කර 25ක් ගුවන් හමුදාවට රඳවාගෙන ඉතිරි අක්කර 340 ජනතාවට බෙදා දිය යුතුය යන්නය. ගුවන් හමුදාව සහ නාවික හමුදාව පානම ප්‍රදේශයේ ඉඩම් අක්කර 1220ක් අත්පත් කරගෙන සිටින අතර එයින් අක්කර 840ක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් අක්කර 480ක් පානම ජනතාවටත් අයිති ඒවාය.ඉකුත් ආණ්ඩු සමයේ හෝටල් ඉදිකිරීම් කර ඇති අක්කර 25ක භූමියක් ද පානම ඉඩම් අතර ඇත. අදාළ හෝටල් කඩා ඉවත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබිය දී පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය දයා ගමගේ මහතා එම ඉඩම් අත්පත් කරගැනීමට සූදානමින් සිටින බවත් අදාළ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමටත් සූදානමින් සිටින බවට පානම වැසියෝ චෝදනා කරති.– දයා නෙත්තසිංහ