අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකරගේ අවසන් කටයුතු හෙට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී

0
299

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක, සංගීතඥ සහ රංගන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (14) පස්වරු පහට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ලක්ෂ්මන් විජේසේකර ඊයේ (12) අභාවප්‍රාප්ත වනවිට 73 වන වියේ පසුවුණා.

රජයේ සංගීත විද්‍යාලයෙන් සංගීතය හදාරා, 1975 වසරේ ගුවන් විදුලි සරල ගී පරීක්ෂණයෙන් සමත්වූ ඔහු ප්‍රියංගා සිනමා පටයෙන් චිත්‍රපට රංගනයට පිවිසුණා.

ඊට පෙර ඔහු වෙස්සන්තර සහ නෙළුම් පොකුණ යන වේදිකා නාට්‍ය සඳහාද රංගනයෙන් දායක වී තිබූ අතර, රේඛා මෙන්ම ගංඟා සහ නිශ්ශංක ටෙලි නාට්‍යවල ද ප්‍රධාන චරිත නිරූපණය කරමින් ජනාදරයට පත්වුණා.

එමෙන්ම බුමුතුරුණු, අත්ත බිඳෙයි වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද ලක්ෂ්මන් විජේසේකර කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඔහු ගායනා කළ ගීත අතර දැල්වූ පහන්, ඇති දේ ඇති සැටියෙන්, සුපෙම් හැඟුම් ඔබෙන් එපා, සිනා පිපෙනා මේ වසන්තය ආදී ගීත ඉමහත් රසික ජනාදරයට පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here