Friday, November 15, 2024

භයානක තැනකට රට තල්ලු කරන, ජනතා ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නැති අය වැයක් – එජාප සභාපති වජිර අබේවර්ධන

ආණ්ඩුව 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අය වැය ඉතා භයානක තැනකට රට තල්ලු කරන අය වැයක් බවත්, එමගින් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු ආමත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වර්තමානය වන විට කිරි පිටි, ගෑස්, සිමෙන්ති ආදී භාණ්ඩ නොමැතිව රට පුරා පෝලිං යුගයක් නිර්මාණය වි ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටින බව පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා වර්තමානයේ පමණක් නොව ජනතාවගේ අනාගතයද අඳුරු යුගයකට ඇද දැමීම සඳහා පාර කපන අය වැයක් බව සිහිපත් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධව අගලවත්ත මැතිවරණ කොට්ඨාශයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා යටියන, අගලවත්ත රමීර හෝටලයේදී ඊයේ (13) පැවැති රැස්වීමට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවේදී තවදුරටත් අදහස් පළ කළ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

“මේ අය වැය ඉදිරිපත් වුනාට එහි සඳහන් කරලා තිබෙනවා තවදුරටත් කාබනික පොහොර ක්‍රියාත්මක කරනවා කියලා. ඒ කියන්නෙ තත්ත්වයෙන් උසස් රසායනික පොහොර ඔබට නොලැබෙන නිසා මුළු මහත් රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා කියලා ප්‍රකාශ කරන්න කැමතියි.

එපමණක් නොවේ, අද දවසේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙස බැලුවාම කිරිපිටි නැතුව දරුවො අඬනවා, කිරිපිටි සඳහා විසඳුමක් ලබා දී නැති අය වැයක්. ඒ වගේම ගෑස් පෝලිම නැති කරන්න විසඳුමක් ලබා දී නැති අය වැයක්. සිමෙන්ති පෝලිම නැති කරන්න වැඩසටහනක් ඉදිරිපත් නොකරපු අය වැයක්.

සිමෙන්ති නොලැබුනම මේසන් මහත්වරුන්ට රස්සාව නෑ, වඩු මහත්වරුන්ට රස්සාව නෑ, කාර්මිකයන්ට රස්සාව නෑ, කම්කරුවන්ට රස්සාව නෑ. මම මේ මුළු අය වැයම සම්පූර්ණයෙන්ම කියවලා බැලුවා. මෙහි කිසිසේත්ම මහජනතාවට යහපතක් වෙන අය වැයක් නොවෙයි කියලා පැහැදිළිව ප්‍රකාශ කරන්න කැමතියි.

උදාහරණයක් ලෙස ගත්තම තේ කර්මාන්තය කඩාගෙන වැටෙනවා. පොල් කර්මාන්තය කඩාගෙන වැටෙනවා. වී ගොවි තැන කඩාගෙන වැටෙනවා. රබර් කර්මාන්තය කඩාගෙන වැටෙනවා. රටේ තියෙන සියලු කෘෂිකර්මාන්තයට සම්බන්ධ එළවළු ඇතුළු සියලු කෘෂි භෝග සම්පූර්ණයෙන්ම කඩා වැටීමට තවදුරටත් ශක්තිමත් කරපු අය වැයක් බව ඔබ මතක තබා ගත යුතුය.

එපමණක් නොවේ, සමස්ත රාජ්‍ය සේවකයන් ලක්ෂ 15 ක් සහ විශ්‍රාමිකයින් ලක්ෂ 6 රැවැට්ටීම සඳහා තව විශාල උප්පරවැටියක් යොදලා තිබෙනවා. විශ්‍රාම වයස 65 දක්වා කියලා ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. කොහොමත් සුවිශේෂී වූ ශ්‍රේණිවලට කැමති නම් සේවය කරන්න විශේෂඥ වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට වයස 63 දක්වා සේවා කාලය දීර්ග කරලා තමයි තිබුණේ. නමුත් විශ්‍රාම ගත්තට පසුව සේවය කරන්න අවස්ථාව දෙනවා නම් තමයි ශක්තිමත් ආර්ථිකයක් තිබෙනවා කියලා පිළිගන්න පුළුවන්. එහෙම නැති වුනොත් මේ කරලා තියෙන්නේ විශ්‍රාම යනකොට ආණ්ඩුවට ප්‍රශ්නයක් තිබෙනවා. තමන් ඉතුරු කරගත්තු පාරිතෝෂික දීමනාවත්, රජයේ යොදන මුදලත් දාලා 80% ක් එකපාරට රජයේ සේවකයන්ට ලබාගන්න පුළුවන්කම තිබෙනවා. ඒක මිලියන ගණනක්.

ඒ මුදල මේ වෙලාවේ රජයට ගෙවන්න බැරි නිසා රජය කියනවා 65 දක්වා දීර්ඝ කළා කියලා. හැබැයි රජයේ සේවකයෙක් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු ඔහුගේ ජීවතයේ තිබෙන අනිත් ප්‍රශ්න විසඳගන්න මේ දීමනාවෙන් තමයි වැඩකටයුතු කරගන්නේ. සමහර වෙලාවට තමන්ගේ ගෙදර දොරේ කටයුතු, එසේ නැති නම් තමන්ගේ දරුවන්ගේ අනාගත කටයුතු විසඳගන්නේ මේ පාරිතෝශික දීමනාවෙන්.

ඒ පාරිතෝශික දීමනාව රජයට ගෙවන්න බැරි නිසා වයස් සීමාව 65 දක්වා දීර්ඝ කරලා තියෙනවා ඒ මුදල් ටිකෙන් බේරෙන්න. කොහොමත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ජුලි මාසය දක්වා පමණයි ගෙවලා තියෙන්නේ. කොහොමත් ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝම්බර් හා නොවැම්බර් කියන මේ මාසවල තවම ගෙවලත් නෑ. එතනත් මාස 05 ක පමණ විශ්‍රාමිකයන්ට පාරිතෝශික දීමනාව ගෙවන්න තිබෙනවා. ඒ අතරේ විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කරන්න කියලා රුපියල් මිලියන 500 ක් වෙන් කරලා තියෙනවා. රුපියල් මිලියන 500 කින් ඒ කරලා තියෙන අර්බුදය විසඳන්න බැහැ. 2004 අපි රටේ පාලනය බාර දෙනකොට අපි ප්‍රකාශ කළේ රජයේ සෙවකයන්ට යමක් වැඩි කරනකොට 70% ක් විශ්‍රාමිකයන්ටත් වැඩි කරන්න කියලා.

මෙය ඉතාම භයානක තැනකට රට තල්ලු කරපු අය වැයක් කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. එපමණක් නොවේ, බැංකුවල ලාභයෙන් 15% ක් ගත්ත එක දැන් 18% ක් කරලා තියෙනවා. බැංකුවල ආදායමෙනුත් විශාල ප්‍රමාණයක් ආණ්ඩුව උදුරාගෙන තිබෙනවා.

මෙවැනි අසාර්ථක අය වැයක් ඉතාම භයංකර අය වැයක් හැටියටයි අපට ප්‍රකාශ කරන්න තියෙන්නේ. අය වැය ඇස්තමේන්තුවත් 2022 – 2024 මධ්‍ය කාලීන කෙටුම්පතක් හැටියටයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. වෙනදට අය සහ වැය වෙන වෙනම පොත් පත් ගණනාවක් නිකුත් කරනවා. අඩු ගානේ ඒ වැඩසටහනවත් නිසියාකාරව ඉලක්ක සහගතව සැලසුම් කරලා නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ මේ දිස්ත්‍රික්කයේ ජනතාවටත්, සමස්ත රටේ ජනතාවටත් මේ අවාසනාවන්ත තත්ත්වයට අද දවසේ ඉඳලමත් මුහුණ දිය යුතුව තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ අගලවත්ත කොට්ඨාශ බලමණ්ඩල සභාපති හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා.

එක රටක්, එක නීතියක් කියමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද නීතියත්, රටත් රාජපක්ෂ පවුලට හා තෝරාගත් පිරිසක් යටතට පත් කර තිබෙනවා.

මොළ 7 ක් තිබෙන බව කියන බැසිල් රාජපක්ෂව මුදල් ඇමති ධූරයට පත් කළාම රටේ සියළු ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියා පොහොට්ටුවේ උදවිය ප්‍රකාශ කළා. නමුත් එතුමාගේ මොළ 7 න් කළ එකම දෙය වන්නේ රට පුරා පෝලිං යුගයක් නිර්මාණය කිරීම පමණයි.  රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න මොළ 7 ක් තිබුණ බැසිල් රාජපක්ෂට නොහැකි බව ඔහුගේ අය වැයෙන් ඔප්පු කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ අය වැයෙන් ජනතාවට කිසිම සහනයක් ලබා දී නැහැ. මේ අය වැය නිසා රට තව තවත් ප්‍රපාතයට වැටෙනවා. ලබන වසර වන විට මේ රටේ ජනතාවට අන්ත දුක් විඳීමට සිදු වෙනවා.

එහිදී අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් එජාප සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් විජේමාන්න මහතා.

මේ ආණ්ඩුව ඉදිරිපත් කළ ඇය වැයෙන් ආණ්ඩුවේ අසාර්ථක බවත්, සර් ෆේල් බවත්, ඔප්පු කර තිබෙනවා. මොළ 7 ෆේල්. තවදුරටත් ජනතාවට දුක් නොදී දැන් මේ අය ගෙදර යැව්වේ නැතිනම් ඔවුන් රටම විනාශ කරනවා.  

මේ අය වැයේ තිබෙන්නේ සුරංගන වචන හරඹයක් පමණයි. මුළු අය වැයම හිස් එකක්. රට ඉදිරියට ගෙන යාමට හෝ ජනතාව මුහුණ පා ඇති ප්‍රශ්නවලට හෝ මේ අය වැයෙන් විසඳුම් ඉදිපත් කර නැහැ. මෙවැනි දුෂ්ඨ පාලකයන්ගෙන් රටට පලක් නැහැ. ඒ නිසා ඔවුන් වහාම පලවා හරින්න පෙළගැසෙන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන මධුරාවල, උපසභාපති රෝහණ ගලබඩ, බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක යූ.එන්.ආර්. ජයසිංහ, මධුරාවල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අමල් නිශාන්ත යන මහත්වරු ප්‍රමුඛ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් සහ ක්‍රියාකාරීන් රැසක් සහභාගීව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles