Friday, September 20, 2024

සජබ උද්ඝෝෂණය සෞඛ්‍ය උපමානවලට අනුකූලව සිදු කිරීමට පියවර ගන්න – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දැනුමි දෙයි

සමගි ජනබලවේගය විසින් අද (16) උද්ඝෝෂණයක් සිදුකරන්නේනම් එය සෞඛ්‍ය උපමානවලට අනුකූලව සිදුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා නියෝග කර තිබේ.

අදාළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඊයේ (15) කොටහේන පොලීසිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එය පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබුණි.

එම ඒකපාක්ෂික නියෝගයට එරෙහිව සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊයේ කරුණු දක්වමින් එය ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බව සඳහන්ය.

අද දින දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, ඊයේ නිකුත් කළ නියෝගය සංශෝධනය කරමින් උද්ඝෝෂණයක නිරත වන්නේ නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය උපමානවලට අනුකූලව එය සිදුකළ හැකි බව නියෝග කර තිබේ.

මේ අතර සමගි ජන බලවේගය විසින් අද දින පැවත්වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල පොලීසිය සිදුකළ තවත් ඉල්ලීමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රතික්ෂේප කර තිබේ.

පොලිසිය විසින් අදාළ ඉල්ලීම ඉදිරිපත් කළ අවස්ථාවේ සමගි ජනබලවේගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඊට විරෝධය පළ කළ අතර එය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටි බවයි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පොලිසියේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කර තිබේ.

මේ අතර සමගි ජනබලවේගයේ උද්ඝෝෂනය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

“මේ සාපය දැන් ඇති” යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහි විරෝධතාව අද පස්වරු 02.00 ට පැවැත්වෙනු ඇත.

ඒ අනුව මීට සහයෝගය ලබාදෙන පිරිස් අද පෙරවරුවේ කොළඹට පැමිණීම සඳහා විවිධ ප්‍රදේශවලින් පිටත්ව තිබේ.

කෙසේවෙතත් අදාළ ප්‍රදේශවල පොලිස් මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් සිදුකර ඇති අතර එහිදී ඇතැම් ස්ථානවල පොලීසිය සමඟ පාක්ෂිකයින් ගැටුම් ද ඇති කරගෙන තිබුණි.

නොච්චියාගම ප්‍රදේශයේදී පාක්ෂිකයින් පොලීසිය සමග වචන හුවමාරුවක් සිදුකරගෙන ඇති අතර ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා ද එක්වුණි.

කෙසේවෙතත් සමගි ජනබලවේගයේ පාක්ෂිකයින් ඔවුන්ගේ පිරිස් දිරිමත් කරමින් උද්ඝෝෂණයට සහභාගී වීම සඳහා අදාළ ප්‍රදේශවලින් පිටත්වන අයුරු දක්නට ලැබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles