Tuesday, November 26, 2024

මහ බැංකුව දැඩි මූල්‍ය අර්බුධයක – බන්දුල ගුණවර්ධන

ඉතිහාසයේ කෙදිනකවත් නොවූවිරූ ආකාරයක විදේශීය විනිමයේ දැවැන්ත අර්බුදයකට ශ්‍රී ලංකා මහ බැංකුව මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් අද(28)  කොළඹදී පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මෙම මස 30වන දිනට ඇමරිකානු ඩොලර් මිලියන 631ක් කල් පිරෙන විදේශීය ණය ගෙවීමට සිදු වී ඇති බවත්, ඒ නිසාවෙන් රාජ්‍ය ණය කළමනාකරණය කළ නොහැකි තත්ත්වයකට පත් වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එනම් මෙම මස 30වන දිනට ගෙවීමට නියමිත කල් පිරෙන විදේශීය ණය ඇමරිකානු ඩොලර් මිලියන 631ක් ගෙවීමට මුදල් නොමැතිවීම නිසාවෙන් උග්‍ර තත්ත්වයකට රජය මුහුණ පා ඇති බවයි.

මේ හේතුව නිසාවෙන්  රජය විසින් පසුගිය දින කිහිපය තුළ අමුතුම සෙල්ලමක් දැමූ බවත්, එනම් අලුතින් ස්වෛරී බැදුම්කර නිකුතුව හරහා ඩොලර් මිලියන 250ක් සොයාගෙන ඇති බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

එමෙන්ම ලංකාවේ ණය අර්බුදයේ ස්වාභාවය පෙන්නුම් කරන හොදම නිදර්ශනය ලෙස ඒ මහතා පෙන්වා දී ඇත්තේ ලංකාවේ ඇති වානිජ බැංකු රැසකින් සිල්ලරට ඉතාම කෙටි කාලයකට වත්මන් ආණ්ඩුව ණය අරන් තිබීම  බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම පසුගිය ආණ්ඩු සමයේ ඩොලරයේ අගය 131 වූ බවත් එය මේ ආණ්ඩුව බලයට පැමිණීමත් සමග 149 දක්වා ඩොලරයේ අගය පරිහානියට ලක් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මෙම  සියලු කරුණු කාරණා හමුවේ බඩු මිල ඉහළ යාම මෙන්ම වැට් බදු ඉහළ දැමීම තුළින් මහජනතාව තවත් අසීරු තත්ත්වයකට මුහුණ පා ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ යුගයේ තිබූ ගෙවුම් ශේෂ අතිරික්තය මේ වන විට අර්බුදයකට ලක් වී ඇති බවත් පැවසෙයි.

එපමණක් නොව ගිය ආණ්ඩුවට වඩා මේ වන විට විදේශ සංචිත ආයෝජනයන් ශීඝ්‍ර වශයෙන් අවම මට්ටමකට ළඟා වී ඇති බවද ඊට හේතුව වන්නේ ලංකාව මේ වන විට මුහුණ දී ඇති දැවැන්ත මූල්‍යමය අර්බුදය බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මේ වන විට ඇත්තේ මෙම දැවැන්ත අර්බුදයන් සඟවමින් ජනතාව මුලා කිරීමක් බව පෙන්වා දෙන ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ඊට හොදම නිදසුන් වන්නේ දේශපාලඥයින් හිරේ දමමින් ජනතාව නොමග යැවීම බවයි.

එනම් මෙම තත්ත්වයන් වසා ගැනීමට ජනතාවට විවිධ දෑ නිර්මාණය කරමින් ජනතා මතය නොමඟ යවන බවයි.

නමුත් දිනෙන් දින ලංකාව පුරාම ජනතාව සංවිධානය කරනු ලබන උත්ඝෝෂණ ව්‍යපාරයන් මගින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ආර්ථික තත්ත්වයටද මෙම තත්ත්වයන් සෘජුවට බලපා ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles