දිනකට සුණු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 4 බැගින් මසකට (සුණු) සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 120 ක් සත්ත්ව ආහාර සඳහා යොදාගැනීම, සහල් මිල ඉහළ යාමට බලපා ඇති ප්‍රධානතම හේතුව බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්. අලහකෝන් මහතා දේශයට පැවසීය. සත්ත්ව ආහාර සඳහා යොදාගන්නා වී පොත්ත පමණක් ඉවත් කළ සුණු සහල් හඳුන්වන්නේ පීකොක් සුණු සහල් නමිනි.
බඩඉරිඟු – සෝයා ඇතුළු සත්ත්ව ආහාර සඳහා උපයෝගී කර ගන්නා අමුද්‍රව්‍ය හිඟය නිසා ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයෙන් සත්ව ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් ඒ සඳහා විශාල වශයෙන් සහල් භාවිත වෙමින් ඇති බව අලහකෝන් මහතා වැඩිදුරටත් පැවසීය. බිත්තර දමන කිකිළියන් සහ බ්‍රොයිලර් කුකුලන් සඳහා ආහාර ලෙස පීකොක් සුණු සහල් යොදාගනු ලබයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සහල් මිනිස් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවන තත්ත්වයක් හටගෙන ඇතැයි ද ඔහු කීය. කෙසේ නමුත් කිසිදු අමාත්‍යාංශයක් මෙම කරුණ කිසිදු සැලකිල්ලකට නොගන්නා බවද ඔහු පැවසීය. සත්ත්ව ආහාර මිල ඉහළ යාම සහ සත්ත්ව ආහාර හිඟය හේතුවෙන් බිත්තර කුකුල් මස් මිල ද ඉහළ ගොස් ඇති බවද ඔහු ප්‍රකාශය කළේය. මේ වන විට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් විසි දෙකක පමණ මුදලක් වැය වන බවත් ඉදිරියේ දී බිත්තර හිඟයක් පවා ඇතිවීමේ අවදානමක් පවතින බවත් අලහකෝන් මහතා පැවසීය.
මසකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ එකසිය විස්සක් සත්ත්ව ආහාර සඳහා උපයෝගී කර ගන්නා පසුබිමක සාමාන්‍ය සහල්වල මාසික අවශ්‍යතාව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ එකසිය අසූවක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
දේශය