තුෂාර ඉඳුනිල් සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු දෙදෙනා ඊයේ (03 වැනිදා) සවස විදුලි සෝපානයේ විනාඩි පහළවක පමණ කාලයක් සිරවී සිට ඇත.
විදුලි සෝපානයේ මෙසේ සිරවී ඇත්තේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල යන මහත්වරුන්ය.
රටටම විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුමද අක්‍රිය වී ගිය අතර විදුලි සෝපානය අක්‍රිය වී ඇතැයි පැවසෙන්නේ මේ අවස්ථාවේදීය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා සහ එල්ලාවල මන්ත්‍රීවරයා විදුලි සෝපානයේ විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී දැඩි අපහසුතාවයකට හා බරපතළ ජීවිත අවදානමකට මුහුණ දුන් බවයි.
මේ අවස්ථාවේදී තමා විදුලි සෝපානයේ දුරකතනයෙන් අදාළ අංශවලට දැනුම් දුන් අවස්ථාවේදී ඔවුන් විනාඩි පහකින් එහි පැමිණෙන බව දැනුම් දුන්නද දොර විවෘත කිරීමට විනාඩි විස්සකට ආසන්න කාලයක් ගතවුණු බවද ප්‍රකාශ කළේය.
එම මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභා ගැබේ සිට බිම් මහළට පැමිණීමට සෝපානයෙන් ගමන් කරද්දී හදිසියේම විදුලි සෝපානය නතරවීම නිසා මෙලෙස එය තුළ සිරවී තිබේ. පසුව පාර්ලිමේන්තු කාර්මිකයන් පැමිණ ඔවුන් දෙදෙනා නිරුපද්‍රිතව බිම් මහළට රැගෙන ගොස් ඇත.
පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අදහස් දක්වද්දී ආණ්ඩු පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා කතාවට බාධා සිදුකළ අතර, පසුව ඔවුන් දෙදෙනා සභා ගැබෙන් නික්ම යද්දී මෙලෙස සෝපානයේදී සිර වී ඇත.