Saturday, November 16, 2024

චීනය කළේ මෙි රටට ඩොලර් උපයන ආයෝජනයි – ඇමති විමල් කියයි

චීනය ශ්‍රී ලංකාවෙහි කර ඇති ආයෝජන යනු ශ්‍රී ලංකාවට ඩොලර් ආදායම් උපදවාලීම සඳහා උපකාර වන ආයෝජන මිස ශ්‍රී ලංකාවෙන් පිටට ඩොලර් ආපසු රැගෙන යන ආයෝජන නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යාවරයා සඳහන් කළේ, අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඩොලර් ඉපයීමට හැකි ව්‍යාපෘති නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවය.

ඩොලර් ආදායම ඉපයීම සඳහා ආයෝජිකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගනිමින් සිත්ගන්නා සුළු සේවාවක් සැපයීම මෙම පහසුකම් මධ්‍යස්ථානය නිර්මාණය කිරීමේ අරමුණය.

“චීනය කරලා තියෙන ආයෝජන බොහෝමයක් ඩොලර් ආදායම උපයා ගැනීමට උදව් වෙන ආයෝජන. ඒවා අපේ ඩොලර් රටෙන් එළියට ඇදගෙන යන ආයෝජන නෙමෙයි. කොළඹ වරාය නගරයෙන් අපේ රටට ලැබෙන්නේ ඩොලර් ආදායම. එමගින් බදු විදියට අපි එකතු කරගන්නෙත් ඩොලර්. අපට ඩොලර් උපයාගත හැකි ව්‍යාපෘති අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ප්‍රමාණවත් නැත්නම් වාසිදායක කොන්දේසි යටතේ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමග ආයෝජන පිළිබඳ උනන්දු විය යුතුයි. ඒ අපේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්

”ඩොලර් ආදායමේ ඇතිවී තිබෙන බිඳවැටීමත් එක්ක අද යම්කිසි අර්බුදකාරී තත්වයක් උද්ගත වෙලා තිබෙනවා. දැන් චීනය ගැන බොහෝදෙනා විවිධ මත පළ කරනවා, ඒ මොන මත පළ කරත් අපි දන්නවා චීනය කරලා තියෙන ආයෝජන බොහොමයක් අපට ඩොලර් ආදායම් උපදවාලීම සඳහා උදව් වෙන ආයෝජන මිසක් අපේ ඩොලර් රටින් එළියට අරගෙන යන ආයෝජන නෙවෙයි

“එදා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ රජය ඉතා වැදගත් තීරණයක් ගත්තා. ඒ තමයි හම්බන්තොට ජාත්‍යන්තර තත්ත්වයේ වරායක් ඉදිකිරීම. මේ ක්ෂේත්‍රයේ අපේ රටේ ප්‍රාමාණික විද්වතුන් බොහෝ කලක සිට පැහැදිලි කළා, ‘හම්බන්තොට පසුකරගෙන ඉතා විශාල නැව් ප්‍රමාණයක් දිනපතා ගමන් කරනවා. ඒ නැව්වලට අවශ්‍ය සේවා සපයන ඒ ආශ්‍රිත කර්මාන්ත පදනම් කරගත් මේ ඓතිහාසික මාගම්පුර රාජධානියේ තමයි ඒ සඳහා අවශ්‍ය පිහිටීම තිබෙන්නේ’ කියා. ඒ අදහසට ඇහුම්කන් දෙන පාලකයන් බොහෝ කලක් යනතෙක් බිහිවුණේ නැහැ.

හම්බන්තොට වරායක් ඉදි කළාම ඒක තරගකාරීව, අහිතකර ලෙස වෙනත් රටවලට බලපානවා. එසේ අහිතකර ලෙස බලපාන රටවල් කැමති වුණේ නැහැ හම්බන්තොට  ජාත්‍යන්තර වරායක් ඉදි වෙනවාට. ඒ නිසා මේ අදහස බොහෝ හේතු මත යටපත් වුණා.

මහින්ද රාජපක්ෂ මැතිතුමන් එදා චීනයට ගියපු වෙලාවේ, එතුමාම පැවසූ අන්දමට එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි පී. බී. ජයසුන්දර මහත්මයාට එතුමා යෝජනා කර තිබුණා චීනයේ ජනාධිපතිතුමන් සමග කෙරෙන සාකච්ඡාවේ ‘ටෝකින් පොයින්ට් එකක්’ විදිහට ‘හම්බන්තොට වරාය ඉදිකිරීම’ ඇතුළත් කරන්න, කියා.

නමුත් අතිගරු ජනාධිපතිතුමන් චීන ජනාධිපතිතුමන් සමග සාකච්ඡා අරඹන විට තමයි දැනගත්තේ ටෝකින් පොයින්ට් එකක් විදිහට මෙහෙ නිලධාරීන් හම්බන්තොට වරාය ඉදිකිරීම ඇතුළත් කර තිබුණේ නැහැ,කියා. මොකක් හෝ අද්භූත හේතුවක් නිසා හම්බන්තොට වරාය ඉදිකිරීම  ඒ න්‍යාය පත්‍රයෙන් හැලිලා තිබුණා.

එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් චීන ජනාධිපතිතුමන්ගෙන් බලවත් ඉල්ලීමක් කර තිබුණා ‘මේක මගේ ප්‍රදේශය, මේක මම ජනතාවට දුන් පොරොන්දුවක්. මේක මට කරන්නම උවමනායි. ඒ නිසා හම්බන්තොට වරාය ඉදි කිරීමේ යෝජනාවත් සාකච්ඡා සඳහා ඇතුළත් කරන්න’ කියා. කවර හෝ හේතුවක් නිසා අපේ රටේ නිලධාරීන් ඒ යෝජනාව හැලුවත් චීන ජනාධිපතිතුමන් එවලේම මෙම යෝජනාව සාකච්ඡාවට ගෙන හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා මූල්‍යාධාර සලසාදීමට තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

මම පසුකාලීනව කල්පනා කළා ‘ටෝකින් පොයින්ට්වලින් කොහොමද මේක හැලුනේ?’ කියා. කොහොම වුණත් මේ ප්‍රදේශය නියෝජනය කරන රාජ්‍ය නායකයෙකු බිහි නොවුණා නම් මේ හම්බන්තොට වරාය ඉදිවීමට තිබෙන ඉඩ ඉතාම අඩුයි. පසුකාලීනව රජය සතුව තිබූ මෙම වරාය, පසුගිය ආණ්ඩුව විසින්  HIPG සමාගමට 99 අවුරුද්දකට බදු දුන්නා. අපි දන්නවා මේ වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය වාරිකය, පොලිය ආදී සියල්ල අදටත් ගෙවන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනුයි.

ඒකෙන් පෙනෙනවා, හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියට බරක් නොවෙයි, කියා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලාභ ලබන ආයතනයක්. හම්බන්තොට වරාය සඳහා ගත් ණය ගෙවීමට හැකියාව තිබියදී තමයි කුමන හේතුවක් නිසා හෝ පැවති පාලනය ඉහත තීරණය ගෙන තිබුණේ.”

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත්වීමෙන් ඊයේ (03) විවෘත කෙරුණේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles