මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා මැතිවරණ කොමිසම ඉදිරිපත් කර ඇති කෙටුම්පතට අනුව සීමාව ඉක්මවා අපේක්ෂකයෙකු මුදල් වියදම් කර ඇත්නම් ඔහුගේ ආසනය අහිමි වන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
තවත් කරුණු රැසක් ඇතුළත් කරමින් මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ කෙටුම්පතට පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමි වූ අතර, ඒ සඳහා සංශෝධන කිහිපයක් ද එක්කර ඇති බව සඳහන්ය.
ඒ අනුව සංශෝධන සහිත කෙටුම්පත යළි මැතිවරණ කොමිසමට ලැබීමෙන් අනතුරුව එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය සඳුඳා රැස් වූ අමාත්‍ය මණ්ඩලයට මැතිවරණ වියදම් පාලනයට අදාළව සකස් කළ කෙටුම්පත ඉදිරිපත් වී තිබූ අතර, නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමි වුණා.
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඉදිරිපත් කළ කෙටුම්පතට අනුව වියදම් කළ යුතු මුදල සීමා කර ඇති බවයි.
ඒ අනුව දිස්ත්‍රික්කය සහ ඡන්ද දායකයින් ප්‍රමාණය අනුව එහි යම් වෙනසක් සිදුවන අතර, එය පක්ෂය විසින් තීන්දු කළ යුතු වනවා.
නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සතියක් ගතව යෑමට පෙර වියදම් සම්බන්ධයෙන් ගිණුමක් සකස් කර ලැබෙන මුදල් සහ වැයවන මුදල් එහි සටහන් කළ යුතුයි.
මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව විගණකයන් යොදවා විගණන වාර්තාවක් සකස් කර මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතු වන අතර, පසුව කොමිසම විසින් එය ප්‍රසිද්ධ කෙරෙනවා.
යම් ආකාරයකින් අසත්‍ය තොරතුරු ලබා දී ඇත්නම් ඒ පිළිබඳව ඕනෑම පාර්ශ්වයකට විරෝධතා ඉදිරිපත් කළ හැකියි.
එසේම, මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබාදෙන පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංක, ලිපින සහ සියලු තොරතුරු ඇතුළත් කිරීම ද අවශ්‍ය වන අතර, තහනම් සංවිධානවලින් මුදල් ලබා ගැනීම සිදුකළ නොහැකියි.
එලෙස වංචාවක් සිදුකර ඇති බවට තහවුරු වුවහොත් අදාළ පුද්ගලයාගේ ආසනය අහිමි වනවා.