Sunday, September 22, 2024

ප්‍රියන්ත කුමාර වෙනුවෙන් අරමුදලක්, ප්‍රියන්තගේ මාසික වැටුප නොනවත්වාම පවුලේ උදවියට ලබා දීමට පාකිස්තානය තීරණය කරයි

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ප්‍රියන්ත කුමාර මහතාගේ දිවි බේරා ගැනීමට තැත්කළ මලික් අඩ්නාන් ට හිමි පකිස්තාන ගෞරව සම්මානය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් ඊයේ (7) පිරිනමනු ලැබුවා.

එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ ප්‍රියන්ත කුමාර ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඩොලර් ලක්ෂයක මුදලක් පිරිනැමීමට සියල්කොට් හි ව්‍යාපාරික ප්‍රජාව පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම ප්‍රියන්ත කුමාරගේ වැටුප අඛණ්ඩව ඔහුගේ පවුල වෙත ලබාදීමටද ව්‍යාපාරික ප්‍රජාව තීරණය කර ඇති බව ඉම්රාන් ඛාන් මහතා සඳහන් කළේය.

එසේම ඔහු පවසා ඇත්තේ එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසිදු බුරුලක් පාකිස්තානයෙන් නොලැබෙන බවත්ය.

එමෙන්ම ප්‍රියන්ත කුමාර දියවඩන  වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර තිබේ.

එම අරමුදල වෙනුවෙන් මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් එකතු වී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා  කර තිබිණි.

මේ අතර ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙත ශෝකය පළ කිරීමේ අවස්ථාවක් පාකිස්ථාන අග්‍රාමාත්‍ය නිල නිවසේ දී ඊයේ පස්වරුවේ සංවිධානය කර තිබුණි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ මුලිකත්වයෙන් එය සංවිධානය කර තිබූ අතර ඊට එරට අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියේය.

ප්‍රියන්ත දියවඩන මහතාට පහරදීම සිදුකරන අවස්ථාවේ ඔහු ආරක්ෂා කිරීමට උත්සහ කළ එකම පුද්ගලයා වූ මලික් අද්නන් ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනැමීමද මෙහිදී සිදුකර තිබේ.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව  එරට තොරතුරු අමාත්‍ය චෞද්රි ෆවාඩ් හුසේන් පැවසීය.

මේ ඝාතනය පාකිස්තානයේ සියලු දෙනාම පාහේ හෙළා දැක ඇතැයි ද හෙතෙම කීය.

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මොහාන් විජේවික්‍රම මහතා හමුවී අදාළ සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති පාකිස්ථාන තොරතුරු අමාත්‍යවරයා සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පාකිස්ථාන රජය ගෙන ඇති පියවර පිළිබඳවද පැහැදිලි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ප්‍රියන්ත දියවඩන මහතා ඝාතන සිද්ධිය සමස්ත රටම කම්පනයට පත් කළ සිදුවීමක් බව පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ ආගමික විද්වතුන් සදහන් කර තිබුණි.

පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හමුවී අදාළ සිදුවීම පිළිබඳ සිය සංවේගය  පළ කර ඇති ඔවුන් පෙන්වාදී ඇත්තේ එම අමානුෂික සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නා බවය.

සිද්ධිය හෙළා දකිමින් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති පාකිස්තාන උලෙමා සංවිධානය, එම අමානුෂික ඝාතනය සම්පූර්ණයෙන්ම ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි බවත් ඝාතනයට සම්බන්ධ සියලු පුද්ගලයින්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බවත් සඳහන් කර තිබේ.

මේ අතර ආගමික නායකයින් විසින් ලබන 10 වන සිකුරාදා දිනය මෙම ම්ලේච්ඡ ඝාතනය හෙළා දැකීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles