අහ්නාෆ් ජසීම් නිදහස් නොකිරීමට හේතුව ?

0
292

නවරසම්’ නමැති කාව්‍ය ග්‍රන්ථය රචනා කිරීම නිසා අත් අඩංගුවට ගන්නා ලද අහ්නාෆ් ජසීම් තරුණ කවියා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන මාස 18කට පෙර සිරගත කෙරුණි.

ඔහුට ඇප දීමට විරුද්ධතාවක් නැති බව ඊයේ (09) නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

කවියකු සහ ගුරුවරයකු වන අහ්නාෆ් ජාසීම් පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2020 මැයි මස 20 වැනිදාය.

අවස්ථා කිහිපයකදීම ඇප ඉල්ලා සිටියද මේ දක්වා ඔහුට ඇප ලබාදී නැත.

ඔහුගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ගොනු කර ඇති පෙත්සම පෙරේදා (08)  දිනයේ කැඳවන ලදී.

එම අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ අහ්නාෆ් ජසීම් ට ඇප ලබාදීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

මෙම නඩුව ජනාධිපති නීතිඥ එස්.තුරෙයිරාජා, විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.

අහ්නාෆ්ට එරෙහිව පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති නඩුව විභාග වන විට අහ්නාෆ්ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බවත් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ අධිකරණයට දන්වා තිබේ. දෙසැම්බර් 15 වැනිදා පුත්තලම මහාධිකරණයේදී කවියාට එරෙහිව රජය විසින් පවරා ඇති නඩුව කැඳවීමට නියමිතයි.

එදිනට මහාධිකරණයෙන් අහ්නාෆ්ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බව සටහන් කර ගත් අධිකරණය විසින් මේ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් මෝසමක් ගොනු කිරීමට පෙත්සම්කරුට අයිතියක් ඇතැයි දැනුම් දුන් බව නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසයි.

අහ්නාෆ් ජසීම්ගේ මූලික අයිතිවාසිකම් නඩුව ලබන අවුරුද්දේ මාර්තු 08 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට දින නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here