Tuesday, September 24, 2024

පාස්කු ප්‍රහාරය පිළිබඳ වැරදිකරුවන්ට දඬුවම් දීම හෝ නිදහස් කිරීමට දේශපාලඥයන්ට අත පෙවීමට නොහැකියි.එහෙම වුනොත් ඒක කැකිල්ලේ නඩු තීන්දුවක් – අධිකරණ ඇමති

පාස්කු ප්‍රහාරය පිළිබඳ වැරදිකරුවන්ට දඬුවම් දීම හෝ නිදහස් කිරීමට දේශපාලඥයන්ට ඒකට අත පෙවීමට නොහැකි බවත් එසේ සිදු කරන්නේ නම් එය කැකිල්ලේ නඩු තීන්දුවක් වන බවත්, අධිකරණ අමාත්‍ය අලි සබ්රි 2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 15 වැනි දිනය සඳහා ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ කටයුතු කිරීමට පොලීසියට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට සම්පූර්ණ බලය සහ ස්වාධීනත්වය ලබා දී ඇති බවත් හෙතෙම කීය.

”අපි මේ ආණ්ඩු භාර ගත්තට පස්සේ, මේ අමාත්‍ය ධුරය භාර ගත්තට පස්සේ එක දවසක අපි නීතිපතිවරයාට කිසිදු විදියක බලපෑමක් කරලා නෑ. ඔප්පු කළොත් කලිසම ගලවලා ගෙදර යනවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන කතා කරනවා. ඒ පනත යටතේ අසාධාරණ ලෙස යම්කිසි පුද්ගලයෙක් රඳවාගෙන සිටිනවා නම් ඒ පිළිබඳ කරුණ පැහැදිලි කර ගැනීම සඳහා හෝ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමාට ආරක්ෂක ඇමති ලෙස කටයුතු කිරීමට උපදෙස් ලබා දීම සඳහා හිටපු අග්‍රවිනිශ්චයකාර අශෝකද සිල්වා මහතා යටතේ වෙනම උපදේශක කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ තිදෙනා ඉදිරියට ගිහින් කාට හරි කියන්න පුලුවන් මට සාක්ෂි නැතිව මේක කරලා තිබෙනවා කියලා. මේ වන විට 46 දෙනෙකුට යම් යම් සහන ලබා දීම සඳහා නිර්දේශ කරලා ලබා දීලා තිබෙනවා. මේවා අපි කටින් විතරක් කියන දේවල් නෙවෙයි ප්‍රායෝගිකව කරන දේවල්. මේ වන විට අපි ත්‍රස්ථවාසය වැලැක්වීමේ පනත අපි යලි සමාලෝචනය කිරීම සඳහා කටයුතු කරමින් යනවා.

ඒ වගේම පාස්කු ප්‍රහාරය ගැන විවිධ දේවල් කියනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව අපිට අතින් අල්ලන් ගිහින් හිරේ දාන්න බෑ. ඒක කරන ක්‍රමවේදයක් තිබෙනවා. අවසානයේ නීතිපතිවරයා තමයි තීරණය කරන්නේ පුද්ගලයෙකු තව දුරටත් රඳවාගෙන සිටිනවාද , මේ පුද්ගලයාට නඩු දානවාද, මේ පුද්ගලයා නිදහස් කරනවාද කියලා. දේශපාලඥයන්ට ඒකට ඇගිලි ගහන්න බෑ. එහෙම ඇගිලි ගැහුවොත් ඒක කැකිල්ලේ නඩු තීන්දුවක් වෙනවා. ඒ නිසා පොලීසියට, නීතිපති දෙපාර්තමේන්තුවට සම්පූර්ණ බලය සහ ස්වාධීනත්වය ලබා දීලා තිබෙනවා. ඒ නිසා අද වන විට 26 දෙනෙකුට නඩු දාලා තිබෙනවා. මේවා සංකීර්ණ විමර්ශන. අපිට අවශ්‍ය අය අරගෙන ගිහින් ඇතුලට දාන්න බෑ. අපිට අවශ්‍ය අයව නිදහස් කරන්නත් බෑ” යනුවෙන්ද සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles