Monday, September 23, 2024

නව ලේබලය ගැසූ ගෑස් සිලින්ඩර පිපිරීම් සමිබන්ධයෙන් පරීක්ෂණයක්

නව ලේබලය යටතේ ගෑස් සමාගම් නිකුත් කළ සිලින්ඩරවල සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවීම හැකි ඉක්මනින් නැවැත්වීම රජයේ අරමුණ බවය.

ලිට්‍රො ගෑස් භාවිත කරන නිට්ටඹුව රන්පොකුණගම ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවීමෙන් ගෑස් ලිප අද උදෑසන පුපුරා ගොස් තිබුණි.

පාරිභෝගික අධිකාරියේ මාර්ගෝපදේශ යටතේ රතු පැහැති ලාංඡනය සහිත ලිට්‍රො ගෑස් සිලින්ඩර පසුගිය 06 වැනිදා සිට වෙළෙඳපොළට නිකුත් කරන ලෙස නියෝග කර තිබුණද රතු පැහැති මුද්‍රාවෙන් යුතු මෙම ලිට්‍රො සිලින්ඩරය නිවැසියන් මිලදී ගෙන තිබුණේ මීට මාස 3කට පමණ ඉහතදීය.

මේ අතර තඹුත්තේගම දෙල්නේගම ප්‍රදේශයේ නිවසක අද උදෑසන ආහාර සූදානම් කරන අවස්ථාවේදී ගෑස් ලිප පුපුරා ගිය බව නිවැසියන් පැවසීය.

ඊයේ පස්වරුවේ ගාල්ල කුරුඳුවත්ත ඉසිවර ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගොස් තිබුණේ ලිට්‍රො ගෑස් සිලින්ඩරයක් කාන්දුවීමෙනි.

පිපිරීමෙන් පසු ගෑස් සිලින්ඩරය පරීක්ෂා කිරීමේදි එහි ගෑස් කාන්දුවෙන බව නිරීක්ෂණය වී තිබේ.

ලිට්‍රො ගෑස් සිලින්ඩරයක් කාන්දුවීමෙන් ගෑස් ලිප පුපුරායෑමේ තවත් සිදුවීමක් අද වාර්තා වුණේ අම්බලන්ගොඩ දිඹුල්දූව ප්‍රදේශයෙනි.

ලාෆ් ගෑස් භාවිත කරන තඹුත්තේගම කලුන්දෑගම ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප ද ඊයේ පස්වරුවේ පුපුරා ගොස් තිබුණි.

මේ අතර ගෑස් සංයුතිය වෙනස් කිරීම සහ නිසි ප්‍රමිතියකින් තොර ගෑස් සිලින්ඩර බෙදාහැරීම යන චෝදනා යටතේ ලිට්‍රො සමාගමට නඩු පැවරීමට සූදානම් වන බව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.

ඊට අදාළව නීතීපති උපදෙස් ලබාගැනීමට ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට සැලසුම් කර ඇති බව අද දෙරණ කළ විමසීමකදී සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර නිසි ප්‍රමිතියකින් තොර ගෑස් මෙරටට ගෙන්වීම හේතුවෙන් ඇතිවූ අනතුරුදායක සිද්ධීන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණයේදී අද කැඳවනු ලැබීය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කෙරුණු පෙත්සම අද කැඳවූයේ රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

අභියාචනාධිකරණය හමුවේ ලිට්‍රො ගෑස් සමාගම අද පෙනී නොසිටි අතර ලාෆ් ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට පැවසුවේ නඩුවට අදාළ ලේඛන පෙත්සම්කරු විසින් තමන්ට විධිමත්ව ලබාදී නොමැති බවය.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම එළැ‍ඹෙන 14වැනිදා දක්වා කල් තැබීමට නියම කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles