Sunday, November 17, 2024

රට බංකොලො⁣ත් ද ?

ජනවාරි 18 ලංකාවට තීරණාත්මක වන්නේ ඡන්දයක් පැවැත්වෙන නිසා හෝ ජනමත විචාරණයක් පැවැත්වෙන නිසා හෝ දේශපාලන පෙරළියක් හෝ නිසා නොව ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනවාරි 18 වැනි දින ලංකාවේ අනාගතය තීරණය කරන අතිශය තීරණාත්මක දවසක් බවට පත්ව ඇති නිසාය. ඒ, එදිනට ලංකාව තමන් රැගෙන තිබෙන ණය වෙනුවෙන් ගෙවිය යුතු වූ ණය වාරිකය සහ පොලී මුදල ගෙවන දිනයක් බවට ජනවාරි 18 පත්ව ඇති නිසාය. මෙතෙක් ලංකාව ලබාගෙන ඇති ණය පියවීම වසරකට තුන් වතාවක් සිදු කළ යුතුව ඇති අතර, නව වසරේ එහි පළමු වාරිකය ගෙවීම යෙදී ඇත්තේ ජනවාරි 18 වැනි දිනටය. අවසන් වතාවේදීත් මෙම ණය වාරිකය ගෙවීමට නියමිත කාලය පැමිණෙද්දී විපක්ෂය දිගින් දිගටම දේශපාලන වේදිකාවේ කියා සිටියේ ආණ්ඩුවට ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවත්, ආණ්ඩුව රට බංකොලොත් කර ඇති බවත්ය. නමුත් ඒ අවස්ථාවේ කෙසේ හෝ විදෙස් සංචිතවල ඇති මුදල් සහ යම් යම් ක්‍රමවේද ඔස්සේ සොයාගත් මුදල්වලින් අදාළ ණය වාරිකය ගෙවාදැමීමට ආණ්ඩුව සමත් විය.

ගත්ත ණයවාරික ගෙවන්න බැරිව රට බංකොලොත් වෙයිද?
නමුත් මෙවර ඩොලර් බිලියන දෙකකට අධික ණය වාරිකයක් ගෙවීමට ආණ්ඩුවට සිදුව තිබුණද විදෙස් සංචිතවල ඉතිරිව ඇත්තේ තවත් ඩොලර් බිලියන 1.5ක මුදලක් පමණි. එයද රත්‍රන් සංචිතයද ඇතුළත්වය. ඒ අනුව යම් හෙයකින් මෙවර ණය වාරිකය පියවිමට ආණ්ඩුවට නොහැකි වුවහොත් එහිදී නිල වශයෙන් රට බංකොලොත් බව ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධියට පත්වීම වැළැක්විය නොහැකිය. ඒත් සමගම රටට විශාල අර්බුද ගණනාවකට මුහුණ දීමටත්, රටේ සියලු ක්ෂේත්‍ර කඩාවැටීමකට ලක්වීමත් සිදුවනු නොඅනුමානය.

ආණ්ඩුව චීනයටයි ඉන්දියාවටයි හැරෙයි!
ඒ අනුව ආණ්ඩුව පසුගිය සතියේදී විශාල බරක් යොදා තිබුණේ මේ තත්ත්වයෙන් එළියට ඒම සඳහාය. ආණ්ඩුවේ ප්‍රධානීන් තැන් තැන්වල ඉතා රහසේ සාකච්ඡා පවත්වමින් මේ තත්ත්වයෙන් මිදීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන දීර්ඝව සාකච්ඡා කරනු දැකගත හැකි විය. එම සාකච්ඡාවලදී ආණ්ඩුවට පෙනී ගියේ මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඇත්තේ විකල්ප දෙකක් බවය. ඉන් එක් විකල්පයක් වන්නේ චීනයය. අනෙක් විකල්පය ඉන්දියාවය. ඒ අනුව දැනට සති කිහිපයකට පෙර තියාම ආණ්ඩුව මේ විකල්පයන් සමග සාකච්ඡා කරමින් අවශ්‍ය මුදල් සොයාගැනීමේ කටයුත්තේ නිරතව සිටියේය. ඒ අනුව ආණ්ඩුවේ සැලසුම වී තිබුණේ චීන ආයෝජකයන් කිහිප දෙනකු සමග කතාකොට ලංකාවේ ආයෝජන සිදුකිරීමට අවස්ථාව ලබා දෙමින් ඩොලර් බිලියන 1.5ක අත්තිකාරම් මුදලක් ලබාගැනීමටය. එම මුදල බොහෝ දුරට තමන්ට ලැබෙනු ඇති බවද ආණ්ඩුව සිතා සිටියේය. ඉතිරි මුදල ඉන්දියාවෙන් ලබාගැනීම ආණ්ඩුවේ ඊළඟ සැලසුම විය.

කබ්රාල් මිලින්ද තිරය පිටුපස මෙහෙයුමේ!

ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා චීනය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මෙහෙයවද්දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාව සමග තිරය පිටුපස සාකච්ඡා ආරම්භ කර තිබිණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත වූයේද මෙම සාකච්ඡා හරහා ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලංකාවට රැගෙන ඒමේ අරමුණ ඇතිවය. බැසිල් ලංකාවෙන් පිටත්වීමට පෙර මෙම ණය මුදල ලැබෙන බවට මාධ්‍යවල පුවත් පළවූ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවා මුණගැසී සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇති බවද කියැවිණි.

නමුත් ඇත්තටම බැසිල්ගේ සංචාරයේදී සිදුවූයේ කුමක්ද? ඉන්දියාවෙන් විශාල ණය මුදලක් රැගෙන ඒමට ඉන්දියාවට ගිය බැසිල්ට එහිදී ලැබුණු ප්‍රතිචාරය කුමක්ද?
ඒ පිටුපස තිබුණේ කවුරුත් නොසිතූ සිදුවීම් වැළකි. ඉන්දියාවෙන් විශාල මුදලක් රැගෙන ඒමට ගිය බැසිල්ට සිදුවූයේ කිසිවකුත් නොසිතූ ආකාරයේ සිදුවීම් වැළකට මුහුණ දීමටය.

මුදල් ඇමැතියි විදේශ ඇමැතියි එකට ඇවිත්!

සාමාන්‍යයෙන් බැසිල් සැලකෙන්නේ රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පසුව ආණ්ඩුවේ සිටින ප්‍රබලතම අමාත්‍යවරයා ලෙසටය. ඒ අනුව බැසිල්ගේ ඉන්දීය සංචාරය සැලසුම් කොට තිබුණේ පළමුව ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් මහත්මිය සමග සාකච්ඡා කොට ඉන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමග සාකච්ඡා කිරීමටත්, අවසානයේදී ඉන්දීය අගමැති මෝදි මුණගැසීමටත්ය. එම සාකච්ඡා වෙන වෙනම පැවැත්වීමටද සැලසුම් කොට තිබිණි. නමුත් බැසිල්ගේ සංචාරය ආරම්භ වද්දීම සියල්ලන්ම පුදුමයට පත්කරමින් මෙම සැලසුම හදිසියේම වෙනස් කිරීමට ඉන්දියාව පාර්ශ්වයෙන් පියවර ගෙන තිබිණි. එයද ලංකාවේ දූත පිරිසට නොදන්වා සිදුකොට තිබීම විශේෂ සිදුවීමකි.

කඩවුණු පොරොන්දු වැළක් කියාගෙන යයි!

ඉන්දීය මුදල් අමාත්‍යාංශයත්, විදේශ කටයුතු අමාත්‍යාංශයත් ඇත්තේ එකම ගොඩනැගිල්ලක වෙන වෙනමය. ඒ අනුව බැසිල් මුලින්ම ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා මුණගැසීමට යද්දී ඇයත් සමග ඉන්දීය විදේශ අමාත්‍යවරයාද අසුන්ගෙන සිටිනු දැකගත හැකි විය. සාමාන්‍යයෙන් එවැන්නක් ඇමැතිවරුන්ගේ රැස්වීමකදී සිදු නොවන අතර එවැනි දෙයක් සිදුවන්නේ අගමැතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකදීය. සාමාන්‍යයෙන් මෝදි යම් රාජ්‍ය නායකයකු සමග හෝ අමාත්‍යවරයකු සමග සාකච්ඡා කරන්නේ නම් ඔහුගේ පසෙකින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනකු සිටීම සාමාන්‍ය සිදුවීමකි. නමුත් බැසිල්ගේ හමුවේදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා යන දෙදෙනාම එකම සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටීම හරහා සාකච්ඡාව අතරතුරදී බාල්දියක් පෙරළීමට නියමිත බවට වූ පළමු ඉඟිය බැසිල්ට ඉවෙන් මෙන් වැටහිණි. එම ඉඟිය තහවුරු කරමින් මෙම සාකච්ඡාවේදී නිර්මලාටත් වඩා අදහස් දැක්වීම සිදුකළේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා වූ එස්. ජයශංකර්ය. ඔහුද සිය අදහස් දැක්වීමේදී වැඩි අවධානයක් යොමුකොට තිබුණේ එදා සිට ලංකාව ඉන්දීය රජයට ලබා දුන් කඩවුණු පොරොන්දු පිළිබඳ බැසිල්ට මතක් කර දීමටය. විශේෂයෙන්ම දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු පොරොන්දු ගණනාවක් මෙහිදී මතක් කළ ජයශංකර්, ඉතාම මෑතකදී, එනම් ඉකුත් නොවැම්බර් 15 වැනි දින ලංකා රජය කඩ කළ පොරොන්දුවද බැසිල්ට මතක් කර දුන්නේය. ඒ, පලාලි ගුවන් තොට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත්කරන පොරොන්දුවය. ඒ හරහා ඉන්දියාව සහ පලාලි අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ලංකාව එකඟතාව පළකර තිබුණද, එම පොරොන්දුවද පරණ ඒවා මෙන්ම කඩකොට ඇති බව ජයශංකර් බැසිල්ට පෙන්වා දුන්නේය. මේ නිසා ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ජයශංකර් නොවලහා බැසිල්ට කියා සිටියේය.

බැසිල් කාරණය මුලට ගනී!

ජයශංකර්ට අමතරව මුදල් අමාත්‍යවරිය වූ නිර්මලාද මේ සම්බන්ධයෙන් තම නෝක්කාඩුව බැසිල් ඉදිරියේ පළකර සිටියාය. ඒ හරහා මෙය අහම්බෙන් සිදුවූවක් නොව ඉතා සැලසුම්සහගතව සිදුකළ එකක් බව බැසිල්ට වටහාගැනීම අපහසු නොවීය. ඒ අනුව බැසිල් අවසානයේදී කෙසේ හෝ තමන් පැමිණි කාරණයට පිරිසගේ අවධානය යොමුකර ගැනීමට සමත් විය. ඔහු පිරිසට කියා සිටියේ පවතින තත්ත්වය යටතේ ඉන්දියාවේ මුල්‍යාධාර ලංකාව බලාපොරොත්තු වන බවය. ඊට ඍජු පිළිතුරක් නොදුන් ඉන්දීය මුදල් අමාත්‍යවරිය කියා සිටියේ බැසිල්ගේ ඉන්දීය සංචාරය අවසන් වීමට පෙර ඒ පිළිබඳ දැනුම්දීමක් කරන්නම් යැයි කියාය.

මෝදි හදිසියේම බිසි වෙයි!

ඒ අනුව එම සාකච්ඡාව අවසන් කර බැසිල් ඊළඟට සූදානම් වූයේ සංචාරයේ ප්‍රධානතම හමුව වන මෝදි සමග සාකච්ජා පැවැත්වීම සඳහාය. බොහෝ වේලාවක් බලා සිටියද ඉන්දීය රජය පාර්ශ්වයෙන් ඒ සඳහා අවස්ථාව නොලැබුණු බැවින් ඒ පිළිබඳ විමසද්දී ඉන්දීය බලධාරීන් දැනුම්දී තිබුණේ මෝදි හදිසියේම කාර්යබහුල වී ඇති බවත්, එම නිසා මෝදි සමග හමුවක් පැවැත්වීමට අවස්ථාවක් නැති බවත්ය.

ඉන්දියාව බෑ නොකියා බෑ කියයි!

ඒ අනුව නැවත වතාවක් බැසිල් පෙර හමුවූ කණ්ඩායමම හමුවී මුදල් පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළේය. මෙම හමුවේදී පෙර පරිදිම ඉන්දීය විදේශ අමාත්‍යවරයාත්, මුදල් අමාත්‍යවරියත් ලංකාව පැත්තෙන් කඩ කළ පොරොන්දු මාලාව බැසිල්ට මතක් කර දීමට පියවර ගත්හ. ඒ සියල්ලම සාවධානව අසා සිටි බැසිල් කිසිදු කලබලයක් නොපෙන්නුවත්, බැසිල් විමතියට පත්වූයේ මුදල් සම්බන්ධයෙන් ඉන්දීය පාර්ශ්වයෙන් ලබාදුන් පිළිතුරත් සමගය. එහිදී මුදල් අමාත්‍යවරිය කියා සිටියේ ලංකාවට ණය ලබාදීමට ප්‍රථම ලංකාව දැනට සිටින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගනු ලබන ආර්ථික සැලැස්ම පැහැදිලි කරන්න යැයි කියාය. මෙවැනි අර්බුදයකදී ඕනෑම රටක් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ආර්ථික සැලසුමක් සකස් කරගන්නා බව කියා සිටි ඉන්දීය අමාත්‍යවරුන් ඒ අනුව ලංකාවද පළමුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට ගොස් ඉදිරි ආර්ථික සැලැස්මක් සකස් කරගත යුතු බව පෙන්වා දුන්නේය. එසේ යෑමෙන් පසු අදාළ ආයතනවලින් ලබාදෙන සහතිකය ඔස්සේ තමන්ටද ලංකාවට මුල්‍යාධාර ලබාදීම පිළිබඳ සලකා බැලිය හැකි බව ඉන්දීය අමාත්‍යවරු බැසිල්ට දැනුම්දී සිටියහ. ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ බැසිල් බලාපොරොත්තුවෙන් සිටි ඩොලර් මිලියන 500ක ණය මුදල නොලැබෙන බවට වූ ඉඟි කිරීමකින් අනතුරුවය. නොඑසේ නම් බැසිල්ට යළිත් ලංකාවට පැමිණීමට සිදුවූයේ ඉන්දියාවට ගියා හා සමානවම හිස් අතින්ය.

චීනය දාපු කොන්දේසිය!

චීනය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලදීද සිදුවූයේ මේ හා සමාන දෙයකි. ලංකාව චීනයෙන් කළ ඉල්ලීමකට අනුව ණය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන විශේෂ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණියේ මීට සති දෙකකට පෙරාතුවය. ඔවුන් සමග පැවැති සාකච්ඡාවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔවුන්ට දැනුම්දී සිටියේ තමන් ඩොලර් මිලියන 1,500ක ණය මුදලක් චීනයෙන් බලාපොරොත්තු වන බවය. නමුත් මේ වන විට ආණ්ඩුව සහ චීනය අතර හොඳ හිත පළුදු වී ඇති බැවින් මෙම ණය මුදල ලබාගැනීම සඳහා දීර්ඝ පැහැදිලි කිරීමක් කිරීමට කබ්රාල්ට සිදුව තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.

දෙන්නම්… හැබැයි ගන්න බෑ!

ඒ අනුව මෙම චීන නියෝජිත පිරිස පසුගිය දිනෙක රාත්‍රියේදී අගමැතිවරයා මුණගැසීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණියේය. එහිදීද මෙම ණය මුදල සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර චීන නිලධාරීන් අගමැතිවරයාට පෙන්වා දුන්නේ තවමත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබී නොමැති බවත්, අවශ්‍ය ලිපි ලේඛන පවා සකස් වී නොමැති බවත්ය. ඒ අනුව එම චීන නිලධාරීන් පිරිස අගමැතිවරයා සමග සාකච්ඡාව අවසන් කළේ ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වමිනි. ඉන් දින කිහිපයකට පසු ඔවුන් ලංකාවෙන් පිටත් වීමට ප්‍රථම නැවත වතාවක් මහ බැංකු අධිපති කබ්රාල් මහතා මුණගැසීමට පියවර ගත්හ. එම සාකච්ඡාවේදී ඔවුන් චීන රජයෙන් ලද පණිවුඩයක් සේ කබ්රාල්ට මෙම මුදල ලබාදිය හැකි ආකාරය පිළිබඳ දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී ඔවුන් කියා සිටියේ අදාළ ඩොලර් මිලියන 1,500 ලබාදිය හැකි නමුත් එය කිසිදු කරුණකට භාවිතයට ගත නොහැකි බවකි. නොඑසේ නම් එය තැන්පතුවක් ලෙස පමණක් තබාගත හැකි ලෙස ලබාදිය හැකි බව චීන නියෝජිත පිරිස කබ්රාල්ට දැනුම් දී සිටියහ.

මහින්ද චීන ණය ගැන කියපු කතාව…!

මෙය යම්කිසි ආකාරයකින් අසුබ ආරංචියක් බැවින් සාකච්ඡාව නිම වූ වහාම අගමැතිවරයා මුණගැසුණු කබ්රාල් ඒ පිළිබඳ අගමැතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහිදී මහින්ද ගත් කටටම කියා සිටියේ, ‘කාටවත් ගෙවන්න බැරි සල්ලියක් අපට දීලා මොනව කරන්නද’ යැයි කියාය. ඊට පිළිතුරු දුන් කබ්රාල් කීවේද, ‘ඒක තමයි සර්… අපට මේ සල්ලි පාවිච්චි කරන්න බැහැලු. ඒක බැංකුවේ දාලා ඕනෙ කෙනකුට සල්ලි තියෙනවා කියලා පෙන්නන්න විතරයි පුළුවන්’ යැයි කියාය. ඊට මහින්ද පිළිතුරු දුන්නේ මඳ සිනහාවකින්ය.

කබ්රාල් හදිසියේම ඩුබායි යයි!

ඒ අනුව චීනයෙන්ද සුබ ආරංචියක් නොලැබුණු තැන මේ වන විට කෙසේ හෝ ජනවාරි 18 වැනිදාට ප්‍රථම ණය ගෙවීම සඳහා මුදල් පියවීමේ කාර්යයට මහ බැංකු අධිපතිවරයාද අත තබා ඇති ආකාරයක් දැකගන්නට ලැබුණේ පසුගිය සතියේ සිදුකළ ඩුබායි සංචාරය දෙස බලන විටදීය. ඒ අනුව මේ වන විට කබ්රාල් සිටින්නේ ඩුබායි නිලධාරීන් සමග මුදල් සොයාගැනීම පිළිබඳ සාකච්ඡා කරමින්ය.

ඔක්කොම එකට ගිලෙන්න හදනවාද?

ඒ අනුව මේ සිදුවීම්වලින් පැහැදිලි වන්නේ ලබන ජනවාරි 18 වැනි දින ලංකාවට ඉතා තීරණාත්මක බවය. යම් හෙයකින් එදිනට නියමිත මුදල් සොයාගෙන ණය වාරිකය ගෙවාගැනීමට නොහැකි වුවහොත් නිසැකවම ණය ගෙවාගැනීමට නොහැකි බංකොලොත් රටක් බවට ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත්වනු නොඅනුමානය. මේ තත්ත්වය මුදල් අමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පමණක් මුණගැසී පසුගිය ඉරිදා කළ සාකච්ඡාවෙන්ද පැහැදිලි විය. එහිදී බැසිල් ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ සමග කිසිදු ගැටුමක් ඇතිකර නොගන්නා ලෙස ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට දැනුම්දී සිටීමටද කටයුතු කළේය. සාකච්ඡාවෙන් අනතුරුව බොහෝ දෙනා කියා සිටියේ බැසිල් ගිලෙන නැවේ තනිවම ගිලෙන්නේ නැතිව පිරිසත් සමගම එකටම ගිලීයෑමේ තියරිය එදින කතාවෙන් පෙනී ගියා යැයි කියාය.

බැසිල්ට බෑ කී මෝදි දෙමළ සන්ධානයට හා කියයි

මේ ආකාරයට බැසිල්ගේ ඉන්දීය ගමනේදී බැසිල් හමුවීමට මෝදි කටයුතු නොකළත් බැසිල් ඉන්දියාවෙන් පිටත්ව පැය කිහිපයක් යෑමට මත්තෙන් මෝදිගේ ලේකම්වරයකුගෙන් මෙරට එක්තරා විශේෂ පුද්ගලයකුට දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ, වෙන කවුරුවත් නොව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්ය. මෙම ඇමතුම මගින් මෝදිගේ ලේකම්වරයා සම්බන්දන්ට දැනුම් දුන්නේ හැකි ඉක්මනින් දෙමළ ජාතික සන්ධානය හමුවී සාකච්ඡා කිරීමට මෝදි සූදානමින් සිටින බවත්, හැකි නම් මේ සතියේදීම නවදිල්ලිය බලා පැමිණෙන ලෙසත්ය. මෝදිගේ ලේකම්වරයාගෙන් මෙම ඇමතුම ලැබීමත් සමග සම්බන්දන් ඔහුට දැනුම් දී සිටියේ මෙම සතියේ දෙමළ සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක නායකයකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත බවත්, දෙමළ සන්ධාන දූත පිරිසේ අනිවාර්යයෙන්ම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් රැඳී සිටිය යුතු බැවින් මේ සතියේ නවදිල්ලියට පැමිණිය නොහැකි බවත්ය. (ප්‍රේමචන්ද්‍රන්ගේ පුත්‍රයා විවාහ වන්නේ උතුරේ තවත් ප්‍රකට දේශපාලන චරිතයක්ව සිට ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ දියණියය) නමුත් අදාළ මංගල උත්සවය නිමාවීමෙන් පසු හැකි ඉක්මනින් දිල්ලියට පැමිණෙන බවද සම්බන්දන් මෝදිගේ ලේකම්වරයාට දැනුම් දී සිටියේය.

සුමන්තිරන් සම්බන්ධන් ගැටෙයි! සම්බන්ධන් ඊළග නායකයා ගැන ඉගියක් දෙයි!

කෙසේ වෙතත් මෝදිගේ ලේකම්වරයාගේ මෙම දුරකතන ඇමතුමෙන් පසු සම්බන්දන් ඒ බව සිය පක්ෂයේ නියෝජිතයන්ට දැනුම්දී සිටීමට කටයුතු කළේය. එහිදී සම්බන්දන්ගේ ස්ථාවරයට විරෝධය පළ කරමින් මන්ත්‍රී සුමන්තිරන් මහතා සඳහන් කර තිබුණේ ඉන්දීය අගමැතිවරයාගෙන් ලද ආරාධනාවෙන් වහාම ප්‍රයෝජන ගත යුතු බවත්, සුරේෂ් නොමැතිව හෝ මේ සතිය තුළදීම ඉන්දියාවට ගොස් මෝදිව මුණගැසිය යුතු බවත්ය. නමුත් සුමන්තිරන්ගේ අදහසට දැඩිව විරෝධය පළ කළ සම්බන්දන් සිය අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ තමන්ගෙන් පසු පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වන බවත්, ඉන්දීය අගමැතිවරයා සමග සිදුකරන සාකච්ඡාවේදී ඔහු නියත වශයෙන්ම එම ස්ථානයේ සිටිය යුතු බවත්ය. මේ හරහා සම්බන්දන්ගෙන් පසු සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා වනු ඇති බවට බොහෝ තැන්වල මත පළවී තිබුණද, තමාගෙන් පසු නායකත්වය ගැනීමට සුදුස්සා වන්නේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බවට මෙහිදී කිසියම් ඉඟියක් පිරිසට ලබාදීමටද සම්බන්දන් මෙහිදී කටයුතු කළේය. එමෙන්ම මෝදිගේ ලේකම්වරයා සමග සාකච්ඡා කොට දින වකවානු වෙන්කර ගැනීම තමන් සිදුකරන බවද මෙහිදී සම්බන්දන් පිරිසට කියා සිටියේය.
කෙසේ වෙතත් සම්බන්දන් මෝදි සමග පැවැත්වෙන මෙම සාකච්ඡාව තවත් දින කිහිපයකින් කල් දැමීමට බලපෑ ඇත්තම හේතුව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ පුත්‍රයාගේ විවාහයමද? එසේත් නැත්නම් වෙනත් හේතුවක්ද?

සම්බන්ධන් ගහන්න යන ගේම් එක…!

සාමාන්‍යයෙන් සම්බන්දන් සැලකෙන්නේ වයෝවෘද්ධ වුවත් ඉතා තියුණු දේශපාලන බුද්ධියකින් සහ සටකපට දේශපාලන දැක්මකින් යුතු පුද්ගලයකු ලෙසටය. උතුරේ බොහෝ දෙනා සම්බන්දන් සමාන කරන්නේ දකුණේ සිටි ජේ.ආර්.ගේ කපාපු පළුව ලෙසටය. ඒ අනුව මෙහිදී සම්බන්දන් මෝදි හමුවීම තවත් සති කිහිපයකින් කල් දැමීමට සැලසුම් කළේ වෙන කිසිවක් නිසා නොව ඉදිරි සති කිහිපය ඇතුළත ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලංකාව ඉලක්ක කර බරපතළ වෙඩිමුර කිහිපයක්ම නිකුත් වීමට නියමිත බව හොඳහැටි වටහාගෙනය. එහි පළමු වෙඩිමුරය ඇමෙරිකාවෙන් පසුගිය සතියේ එල්ල විය. ඒ, ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවෙන් ලංකාව ඉවත් කිරීම හරහාය. කලාපයේ අනෙකුත් රටවල් වන ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය වැනි රටවලට එම සමුළුව සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ආරාධනා කර තිබුණත්, ලංකාවට ආරාධනා කර නොතිබීම විශේෂ සිදුවීමක් විය. ලංකාව පමණක් නොව චීනයද මෙම සමුළුවෙන් ඉවත් කිරීමට බයිඩන් කටයුතු කොට තිබිණි.

අමෙරිකාවෙන් ප්‍රහාර කිහිපයක් එන ලකුණු!
මීට අමතරව පසුගිය මාසයේදී සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම් වැනි මන්ත්‍රීවරුන් ඇමෙරිකාවේ සංචාරය කොට එරට රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලද ඉදිරි සති කිහිපයේදී එළියට ඒමට නියමිතය. මෙහිදී දෙසැම්බර් අවසන් සතිය පමණ වන විට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලංකාව ඉලක්ක කර බරපතළ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවටද සම්බන්දන් හට තොරතුරු ලැබී තිබේ. ඒ, ලංකාවේ පවතින මානව හිමිකම් තත්ත්වය පදනම් කරගෙනය. එම නිවේදනය හරහා දෙමළ ජනතාවට ලබාදෙන විසඳුම සහ යුද සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳවද දැඩිව අදහස් පළවනු ඇති බවක් දැනගන්නට ඇත. සම්බන්දන් මෝදි හමුවීමට මේ කල් මරමින් සිටින්නේ මෙම නිවේදනය එන තෙක්ය. ඉන් අනතුරුව එම නිවේදනයේ සඳහන් කරුණුද අතේ තියාගෙන සම්බන්දන් මෝදි හමුවීමට සූදානමින් සිටින බව ආරංචිය. මෙම ඇමෙරිකානු නිවේදනයෙන් අනතුරුව එය පදනම් කරගෙන අනෙකුත් බටහිර හා යුරෝපා රටවල්ද ලංකාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවක්ද දැනගන්නට ඇත.

ඒ අනුව ලබන ජනවාරිය වන විට රට මුදල් අතින් බංකොලොත් වීමේ අනතුරක් ඇතුවා පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන් කොන්වීමේ අනතුරක්ද මේ වන විට දැකගන්නට ඇත.

මව්‍ රට
කපිල පුංචිමාන්නගේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles