ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රි ලංකන් ගුවන් සේවය, සතොස සහ ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ව්‍යාපාර ආයතන පහෙන් පමණක් 2019 වසර තුළ දී දිනකට රුපියල් තිස් අටකෝටි හතලිස් හතර ලක්ෂයක් පාඩු සිදුව ඇති බව ඇඩ්වෝකාටා පර්යේෂණ ආයතනය විසින් සිදු කරන ලද ආර්ථික පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.
එම ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණයකදී මෙරට රාජ්‍ය ව්‍යාපාර 527ක් හඳුනාගන ඇති අතර එයින් 55ක් මෙරට ආර්ථිකය සමඟ බද්ධ වී ඇති ව්‍යාපාර බවත් පෙනී ගොස් ඇති අතර මේ සෑම ආයතනයක්ම පාහේ පාඩු ලබා ඇති වබ ද පෙනී ගොස් තිබේ.
පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අනාවරණය කරමින් ඇඩ්වෝකාටා ආයතනයෙ පර්යේෂකයකු සඳහන් කළේ 2001 වසරේ සිට 2020 දක්වා කාලය තුළ දී ශ්‍රි ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර ලාබ තරමටම පාඩුද විඳ ඇති බවය.
ඒ අනුව මෙම කාලය තුළ රාජ්‍ය ව්‍යපාර ට්‍රිලියන 1.27ක ලාබයක් ලබද්දී සමස්තයක් ලෙස ට්‍රිලියන 1.2ක පාඩුවක්ද ලබා ඇති බවය.
මෙලෙස මෙම ආයතන ලද පාඩුව සුවිසල් එකක් බව පෙන්වා දෙන ඇඩ්වෝකාටා පර්යේෂකයන් පවසන්නේ 2019 වසරේදී පමණක් මෙරට රාජ්‍ය ව්‍යාපාර ලද පාඩුව 2019 වසරේ අයවැයෙන් දිළිඳු ජනතාවගේ සමෘද්ධිය සඳහා වෙන් කළ මුදල මෙන් සියයට 310ක් ඉහළ බවය. එසේම සෞඛ්ය්ය සඳහා වෙන් කළ මුදලෙන් සියයට 56ක් ලෙසත් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද අයවැය ප්‍රතිපාදනවලට සාපේක්ෂව සැලකුවහොත් එම පාඩුව සියයට 47.8ක ප්රතිශතයක පවතින බවය.
මෙම ආයතනවලින් ඇතැම් ඒවා ලබන පාඩුවට අමතරව දේශීය සහ විදේශීය මූල්‍යායතනවලට අති විශාල ණය බරක්ද පවතින අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පමණක් 2020 වසරේදී රුපියල් බිලියන 52.9ක් ණය වී ඇති බව සඳහන් කළේය. විදුලි බල මණ්ඩලය එම වසර තුළ බිලියන 6.5ක් ණය වී ඇත.
ඉතාම අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් තුළ මෙම ආයතන මෙසේ ණය වීම ජාතික ආර්ථිකයට විශාල තර්ජනයක් විය හැකි බැවින් මේ රාජ්‍ය ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු බව ඇඩ්වෝකාටා පර්යේෂකයෝ අවධාරණය කරති.