පියෙකු ඝාතනය කළ දියණියකට සහ ඇගේ අනියම් ස්වාමි පුරුෂයාට නුවරඑළිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
1995 වසරේ ජනවාරි මස 26 වැනිදා නුවරඑළිය, රාගල, මැදවත්තගම ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇත.
අනියම් ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වීම හේතුවෙන් විත්තිකාර දියණිය ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා සමග එක්ව තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කර ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් විත්තිකාරියට සහ විත්තිකරුට එරෙහිව නුවරඑළිය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වසර 21ට පසු නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණය විනිසුරුවරයා සඳහන් කළේ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.
ඒ අනුව විත්තිකාරියට සහ විත්තිකරුට මරණ දඬුවම නියම කරන බව විනිසුරුවරයා ප්‍රකාශයට පත්කර ඇත.