පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවැරීමට රජයේ ඇතැම් ඇමතිවරු උත්සාහ කරන්නේ එහි සැබෑ වරදකරුවන් සගවා තැබීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා ඊයේ (13දා) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිට පටවන්න හදන බවත් ඔහු එසේ කරන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් ආරක්ෂා කිරීමට බවත් විජයලාල් මහතා මෙහිදී කීවේය.
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ඒ අය දැනගෙන සිටින බවත් ඔවුන් ආරක්ෂා කිරීමට හා සඟවා තැබීමට ප්‍රසන්න රණතුංග මහතා ගන්නා මේ අප්‍රසන්න උත්සාහය සිය පක්ෂය තරයේ හෙලා දකින බවත් විජයලාල් මහතා කීවේය.
ශ්‍රී ලංකාවේ මේ වනවිට කොමිෂන් සභා වාර්තා විශාල ප්‍රමාණයක් එළියට පැමිණියත් ඒවායින් ක්‍රියාත්මක කළේ කීයක් දැයි තමන් නොදන්නා බවත් පැවසූ විජයලාල් මහතා ප්‍රසන්න රණතුංග මහත්වරුන් ගන්නේ මේ නිර්ලජ්ජිත උත්සහායක් බවත් පැවැසීය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දඩුවම් ලබාදිය යුතු යයි කියන්න ප්‍රසන්න රණතුංග කවුද යන්න තමන් නොදන්නා බවත් තමන්ගේ තරම නොදැන කතා කිරීම ඉතා නොහොඹිනා ක්‍රියාවක් බවත් විජයලාල් මහතා කීවේය.
පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙසේවත් වගකිවයුත්තෙක් නොවන බවත් එසේනම් මාර්ගවලදී ඇති වන රිය අනතුරින් අහිමි වන ජීවිතවලට වගකිවයුත්තේ මහා මාර්ග ඇමතිද එසේම කොරෝනා නිසා හැම රටක්ම පහුගිය කාලයේ භාර නොගත් යුක්රේන් සංචාරකයින් මෙරටට ගෙන්වා කොරෝනා ව්‍යාප්තවී එමගින් ජනතාව මිය ගියේනම් එහි වගකීම භාර ගතයුත්තේ සංචාරක ඇමති බවද තමන් ප්‍රශ්න කරන බවද විජයලාල් මහතා කීවේය.
හිටපු ජනපති මෛතීපාල සිරිසේන මහතාගේ ඉදිරිගමන් මග හරස් කිරීමට ප්‍රසන්න කරන මේ අප්‍රසන්න ප්‍රකාශ එතුමාට ආශීර්වාදයක් බවත් පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ගැන දන්නා ජනතාව මෙයට වගකිවයුත්තා මෛත්‍රීපාල සිරිසේන මහතා නොවන බව දන්නා බවත් විජයලාල් මහතා අවසන් වශයෙන් කීවේය.