Wednesday, November 27, 2024

කූපන් ක්‍රමයට ඉන්ධන දෙන්න කැබිනට් මණ්ඩලයේදී යෝජනාවක් !

කූපන් ක්‍රමයට ඉන්ධන ලබාදිය හැකිදැයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අදහස් පළවී ඇතැයි වාර්තා වනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු එහිදී යෝජනා කර ඇත්තේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා වැඩි මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකටයාම යෝග්‍ය බවයි. දැනට ශ්‍රී ලංකාවේ ඉන්ධන භාවිතය බොහෝ සෙයින් වැඩිවී තිබීම ද මෙම යෝජනාවට හේතුවී ඇති බව වාර්තා වෙි.කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය එම යෝජනාවට එකඟතාව පළ කර නැහැ.

ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 300 ත් 420 ත් අතර මුදලක් වැයවනවා. කොරෝනා සමයෙන් පසු මෙරට ඉන්ධන භාවිතයද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවී තිබෙනවා. අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ණය මුදල ලබාගත යුතු බවට යෝජනා කර ඇතත් තවත් පිරිසක් ඊට එකඟතාව පළ කර නොමැති බවටයි වාර්තා වන්නේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් එකඟතාව පළ කර නොමැති බව ද වාර්තා වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගත හැකිදැයි කැබිනට් මණ්ඩලයේදී යෝජනාවී තිබෙනවා. කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවකට පැමිණ නැහැ.

මේ අතර රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් තවදුරටත් ආනයන සීමා කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන රූපලාවන්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය, අත්‍යවශ්‍ය නොවන ආහාර සහ බීම වර්ග, පළතුරු මෙන්ම වයින් ඇතුලු මත්පැන් ආනයනය ද මෙලෙස සීමා කිරීමට සිදුවන බවටයි එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය තවදුරටත් සිදුකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ආන්දෝලනයට තුඩුදී ඇති යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවී නොමැති බවටයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles