Saturday, November 16, 2024

දකුණු ආසියාවටම පාඩමක් වූ මාලදිවයිනේ ව්‍යාජ පුවත් මෙහෙයුම්.

මාලදිවයින් රජය මෑතක සිට සමාජ ජාල සහ වෙබ් අඩවි ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන ව්‍යාජ ප්‍රවෘත්ති පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින බව පෙනේ. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් මාලදිවයින් සමාජ මතය දෙකඩ කිරීමට ඇතැමුන් උත්සාහ කරන පළමු අවස්ථාව මෙය නොවේ.

දැන් අලුතින් නැවතත් මෙම ක්‍රියාවලිය ආරම්භවී ඇත්තේ 2023 දී එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමිනි. මීට පෙර 2018 සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණයට පෙර, මාලදිවයිනේ විපක්ෂයට එරෙහිව ඇතැම් වෙබ් අඩවි ප්‍රචාරණ කටයුතු සිදුකරන ලද්දේද මේ ආකාරයෙන්මය. 2018 පෙබරවාරි මස මුලදී මාලදිවයින හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් වූ අවස්ථාවේ සිටම මහජන මතය හැඩගැස්වීම සඳහා එවකට පැවැති ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයද අවභාවිත කෙරුණු බව තරමක අතීතය මතක තිබෙන පිරිසට අමතක වන්නට හේතුවක් නැත.

එවකට බලයේ සිටි අබ්දුල් යමීන්ගේ පාලනය යටතේ රට අවුල්සහගත තත්ත්වයක පැවතියද, Maldives Wire වැනි වෙබ් අඩවි විසින් අඛණ්ඩව සාකච්ඡා කරන ලද්දේ “ජීවිතයේ හිරු එළියෙන් මෙහි ජීවිතය සාමාන්‍යයයි” වැනි මාතෘකා පිලිබඳවය. මාලදිවයින් පුරවැසියන් ඔවුන්ගේ සාමාන්‍ය දෛනික ජීවිතය භුක්ති විඳින ආකාරය සහ කුඩා දූපත් රාජ්‍යයේ එදිනෙදා ක්‍රියාකාරිත්වය උපරිමයෙන් සිදුවන ආකාරය ගැන එම ලිපිවලින් සාකච්ඡා කෙරිණ. එහෙත් එවැනි වාර්තාවන් මධ්‍යයේ රට තුල සැබැවින්ම යමීන් පාලනය විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අත්හිටුවමින් නියෝග නිකුත් කිරීම, වරෙන්තු නොමැතිව වැටලීම් සිදු කිරීමට පොලිසිය යොදා ගැනීම වැනි කටයුතු හේතුවෙන් මාලදිවයිනේ තත්වය ලෝක අවධානයට ලක් වුණා. යමීන් ඔහුගේ බලය අයුතු ලෙස භාවිතා කරමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු, හිටපු අභිචෝදක ජනරාල් සහ හිටපු පොලිස් කොමසාරිස්වරයෙක් සිරගත කිරීමද මාලදිවයින් පාලනය කෙරෙහි පැවැති අන්තර්ජාතික අප්‍රසාදය තවදුරටත් තීව්‍ර කිරීමට හේතුවුණා. බොහෝ ප්‍රමුඛ ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ විකාශන මධ්‍යස්ථාන ද ප්‍රහාරයට ලක්ව හෝ ආරක්ෂාව නොමැතිකම හේතුවෙන් වසා දමන බවත් යමීන් පාලනය යටතේ වාර්තාවුණා.

එවකට මාධ්‍ය භාවිතය හරහා සිදුකෙරුණු අසත්‍ය ප්‍රචාරණයන්ට බහුලව ඉලක්ක වී තිබුණේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (MDP) ප්‍රමුඛ විපක්ෂයේ නොහැකියාව පෙන්වීමයි. ඒ වෙනුවෙන් භාවිත කරන ලද වෙබ් අඩවි බොහොමයක් එවකට පැවැති ආණ්ඩුවේ අනුග්‍රහය ලබමින් කටයුතු කරන ලද බව DNS Analytics ආයතන විසින් සිදුකළ අධ්‍යයනයකදී අනාවරණය වුණා. මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ මෙම වෙබ් අඩවි බොහොමයක් සාපේක්ෂව අලුත් ඒවා බවයි. සමහර ඒවා ජනාධිපතිවරණයට වසරකට පෙර පිහිටුවන ලද අතර ඉන් පසුව අක්‍රිය කර දමා තිබිණි. සමහර ඒවා නව රජය බලයට පත්වීමෙන් පසුව පිහිටුවන ලද ඒවාය. themaldivesreport.com වැනි වෙබ් අඩවි එලෙස ක්‍රියාකාරීවූ ඒවා වන අතර මෙම වෙබ් අඩවිවල ක්‍රියාත්මක වූ අන්තර්ගතයන් දෙස සමීපව බැලීමෙන්, ඒවායේ නොමඟ යවන සුළු මාතෘකා සහ සිරස්තල මගින් 2018දී බලයට පත්වූ ජනාධිපති සෝලිහ් සහ ඔහුගේ රජය අපකීර්තියට පත් කිරීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබිණ.

Maldives Wire වෙබ් අඩවියද මේ ආකාරයටම ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිහ්ගේ පාලනයට එරෙහිව දැඩිව ක්‍රියාත්මකවූ වෙබ් අඩවියක් වන අතර MDP හි ක්‍රියාකාරකම් පිලිබඳ සැකයන් ඇති කිරීම සහ එහි වැරදි ජනගත කිරීම එහි මුලික අරමුණ වී පවතිනවා. දැන් මෙවැනි වෙබ් අඩවි සහ ඒවායේ පලවන පුවත් උපුටාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත කරන විශාල ව්‍යාපාරක් නැවතත් ආරම්භ වෙලා. ඒ පෙරකී ආකාරයට ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින්. 2019 වසරේදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වසර පහක සිරදඬුවමක් නියම වූ අබ්දුල්ලා යමීන්ට(සෞඛ්‍යමය හේතුන් මත දඬුවම ලිහිල් කර තිබෙනවා) නැවත දේශපාලනයට පැමිණීමට ඉඩ සැලසීම මෙම ප්‍රචාරණ ව්‍යාපාර වල ප්‍රධාන අරමුණ වී තිබෙන අතර ඒ වෙනුවෙන් වත්මන් පාලනය කෙරෙහි ජනතාව බිඳවීම තියුණු ලෙස සිදුකෙරෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles