ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා තමාට ආරාධනා කළහොත් කොන්දේසි කිහිපයක් මත භාරගන්නා බව රොෂාන් මහනාම මහතා පවසයි.
ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක හා තරග තීරකවරයෙකු වන රොෂාන් මහානාමගේ ‘මගේ ඉනිම’, රොෂාන් මහානාම, චරිතාපදාන කෘතිය එළිදැක්වීම ඊයේ (16) කොළඹ දී සිදුකෙරුණා.
මෙහි ප්‍රථම කෘතිය සිය මව වෙත පිළිගැන් වූ අතර ක්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතාට ද කෘතියක් පිළිගැන්වනු ලැබුවා.
මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රොෂාන් මහානාම මහතා පවසා සිටියේ මෙවැන්නක්.
“ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මට භාරගන්න කියලා කිව්වොත් මම ඒ ගැන කල්පනා කරලා බලනවා. මට මීට මාස 3කට නැත්තම් 4කට විතර කලින් කරන්න කියලා ආරාධනාවක් ලැබුණා.
නමුත් ඒ කාලපරිච්චේදය එවැනි තීරණයක් ගන්න හොඳ අවස්ථාවක් නෙමෙයි.”
“මම වෙලාව ගත්තා කල්පනා කරලා බලන්න..මේක මම කළයුතු දෙයක් ද කියලා. මොකද මගෙත් අඩුපාඩුකම් ටිකක් තියෙනවා. මොකද මම ඩ්‍රෙසින් රූම් එකක් ඇතුළත වැඩ කරලා නෑ.. අන්තිම අවුරුදු කිහිපයේ.”
“කොහොම වුනත් එන්න නම් මට මගේ කණ්ඩායම අවශ්‍යයි. තනි පුද්ගලයෙකුට ඇවිත් මේ දේවල් කරන්න බෑ. හැබැයි මං ගෙනාවා කියලා මේ ප්‍රශ්න නම් විසඳන්න ලැබෙන්නේ නෑ. අපි ඔක්කෝම එකතුවෙලා වැඩ කරන්න ඕනේ.”
“ක්‍රීඩා ඇමතිට කාර්යභාරයක් තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුද්ගලයින්ට වගකීමක් තියෙනවා ඔවුන් විසින් කළයුතු දේවල් ගැන. නැත්තම් මේවා තාවකාලික විසඳුම්.”
“මාව දාලා වෙන වැඩ වහගන්න යනවා නම්, ඒක හරියන්නේ නෑ. විවිධ පැතිවලට ඇදලා යන්න බෑ.. මේ ගමන.”
ක්‍රිකට් ගොඩගන්න නම් ඇමතිවරයාට ක්‍රිකට් පාලක මණ්ඩලයට හා අනික් සියල්ලටම වගකීමක් තියෙනවා. පුහුණුකරු ලෙස මගෙන් ඉල්ලීමක් කර තිබුණා මම ඒකට කාලයක් ඉල්ලුවා. මගේ පිටින් දාලා සේරම වහගන්නවා නම් මම ඒකට එන්නේ නෑ. මට ඕනේ තරුණයන්ට පණිවිඩයක් ගෙනියන්න අපේ රටේ නායකයෝ කියන දේ කරන කරන දේ කියන අය නොවේ විශ්වාසවන්ත භාවය, මිත්‍රත්වය, විනිවිදභාවය තිබිය යුතුයි. මුදල අවසානයට ආ යුතුයි.”
ඉදිරියේ දී දේශපාලනයට පැමිණෙනවා ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් වැඩි දුරටත් කරුණු විමසා සිටියා.
එහිදී එයට පිළිතුරු දුන් ඔහු පවසා සිටියේ මෙවැන්නක්.
“දේශපාලනයට එනවා නම් මම එන්නෙ දහස් නවසිය අනූනවයේ, මට ඒ කාළේ ආරාධනා ආවා. මම මගේ ආත්ම ගරුත්වය පාවා දුන්නේ නැහැ.”