Friday, September 20, 2024

බේරේ වැව පවිත්‍රකරණයට පාවෙන තෙත් බිම් මුදා හැරීම ජනපති ප්‍රධානත්වයෙන් සිදු කෙරේ

බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

අවිධිමත් නාගරීකරණය, කොළඹ නගරය තුළ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් බේරේ වැව අපවිත්‍ර වී තිබේ.

එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතාගේ උපදෙස් පරිදි පාවෙන තෙත් බිම් වැඩසටහන අත්හදා බැලිණි.

පීවීසී බට, උණ බට, ෆෝම් මෙට්ට පාවෙන ආධාරක ලෙස යොදාගනිමින් කැනාස්, සැවැන්දරා සහ හෙලිකෝනියා වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පරීක්ෂණය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි පරිසර විද්‍යාඥ රනෝෂි සිරිපාල මහත්මිය පෙන්වා දුන්නාය.

පාවෙන තෙත් බිම්වල අන්තර්ගත ශාක මඟින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනීම සිදු වේ.

එමඟින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම, දුර්ගන්ධය පහව යාම, ජලය මත යැපෙන ජීවින් සඳහා වාසස්ථාන සැපයෙමින් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදුවෙන අතර, ජලය මතුපිට අලංකරණය ඉන් ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

පාවෙන තෙත් බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනීම සිදු වේ. එමගින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම, දුර්ගන්ධය පහව යාම, ජලය මත යැපෙන ජීවින් සඳහා වාසස්ථාන සැපයෙමින් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදු වේ. ජලය මතුපිට අලංකරණය ඉන් ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

මැසි මඳුරු උවදුර හේතුවෙන් ඇතිවන ලෙඩ රෝග පාලනය සඳහා වක්‍ර මෙහෙවරක් මෙමගින් අපේක්ෂා කරන අතර අදාළ ජල ප්‍රදේශය තුළ මත්ස්‍ය ඝණත්වය ඉහළ නැංවීම වැනි ප්‍රතිලාභ රැසක් ඉතා සුළු පිරිවැයකින් ළඟා කර ගත හැකි බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතා පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, කොළඹ මහනගර සභාවේ නාගරික ‍කොමසාරිස් රෝෂිනි දිසානායක, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ශ්‍රීමති සේනාධීර, ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය එන්.එස්. විජේරත්න යන මහත්ම මහත්මීහු සහ ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles