Friday, September 20, 2024

දශකයේ වැඩිම උද්ධමනය පසුගිය නොවැම්බරයේ

2021 වසරේ නොවැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 6.2 දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 11.1 දක්වා ඉහළගොස් තිබේ.

ඔක්තෝම්බර් මාසයේ එය සටහන් වූයේ 8.3%ක් ලෙස යි.

නොවැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩය 7.8%ක දායකත්වයක් දක්වා ඇති අතර, ආහාර නොවන කාණ්ඩය 3.3%ක දායකත්වයක් දක්වා තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී උද්ධමනය සටහන් වූයේ සියයට 5.2%ක් ලෙස යි.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි මේ වසරේ නොවැම්බර් මාසයේ උද්ධමනය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, ආහාර සහ ආහාර නො වන කාණ්ඩවල ඉහළ මිල මට්ටම්ය.

මේ අතර, ඔක්තෝම්බර් මාසයේ දර්ශකාංක 150.6ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය නොවැම්බර් මාසයේ දී 155.3 දක්වා වැඩි වී තිබෙි.

ශ්‍රී ලංකා මහබැංකුව සංඛ්‍යාන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 8.3හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 11.1 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේය.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 11.7හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 16.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.4හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේය.

2021 නොවැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 3.14ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 2.61කින් සහ සියයට 0.53කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, 2021 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, එළවළු, සහල්, කිරි පිටි, ලොකු ළූණු, නැවුම් මත්ස්‍ය සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල් සහ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 නොවැම්බර් මාසයේ දී ඉහළ ගියේය.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.2හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.6හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles