Wednesday, December 25, 2024

කාති උසාවිය අහෝසි කරන්න මුස්ලිම් ජාතිකයෙකුගෙන්ම යෝජනාවක්

කාති උසාවිය නිසා මුස්ලිම් ජාතිකයන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව අවධාරණය කළ හිටපු මහාධිකරණ රෙජිස්ටාර් මොහොමඩ් සුබයිර් මහතා එම උසාවිය අහෝසි කරන ලෙසට නිර්දේශ කරන ලෙස එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටියේය .

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා පෙරේදා (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ සුබයිර් මහතා මෙම ඉල්ලීම සිදුකළේ ය.

තමා ස්වෙච්ඡාවෙන්  මෙම අදහස්  ලබාදීම සඳහා පැමිණි බව පැවසූ සුබයිර් මහතා අධිකරණ ක්ෂේත්‍රයේ  වසර 40ක ලද අත්දැකීම් මත මෙම  ඉල්ලීම සිදු කරන බව ද සඳහන් කළේය.  විවිධ ස්වෙච්ඡා  සංවිධාන, විවිධ ජන කොටස්, වෘත්තිකයන්ගේ සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් පැමිණි පිරිස්  කමිටුව හමුවේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ කළහ.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, බහු විවාහ නීතිය මෙන්ම ආගම කොටස්වලට යොදා ගෙන විවිධ සංවිධාන පිහිටුවීම තහනම්  කළ යුතු බවද මොහොමඩ් සුබයිර් මහතා  කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කළේය.

බොහෝ අවස්ථාවල කාති උසාවිවල නඩු ඇසීම සිදු කරනු ලබන්නේ නීතිඥවරයෙකු නොවන කාති වරයෙකි. නීතියට අදාළ වන ලිය කිවිලි හා එසේ නොවන ලේඛන නිවැරදිව හඳුනාගැනීමට කාති වරයෙකුට නොහැකි වන අවස්ථා ඇත. එසේ හෙයින් නිසි අවබෝධයකින් හා අපක්ෂපාතීත්ව නිවැරැදි තීන්දුව ලබා දිය නොහැකි අවස්ථා  මෙන්ම එම උසාවිය මගින් ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොවන අවස්ථාද බහුලව වාර්තා වී ඇත. මෙම උසාවි ක්‍රමය අහෝසි කිරීම මගින් නඩත්තු නඩු වලදී අදාළ  ගැහැනු දරුවාට  මෙන්ම, දෙමාපියන්ටද සාධාරණයක් ලබා  ගැනීමට හැකියාව ඇති බව මොහොමඩ් මහතා සඳහන් කළේය.

මුස්ලිම් විවාහ හා දික්කසාද නිතිය මගින් බලවත් සමාජ හා නීතිමය  අසාධාරණකම් සිදු වන බව  බව පැවසූ  මොහොමඩ්  සුබයිර් මහතා, දැනට කාති ක්‍රමය  යටතේ ගැනෙන නඩත්තු නඩු මහෙස්ත්‍රාත් උසාවිය මගින් ද, දික්කසාද නඩු දිස්ත්‍රික් උසාවිය මගින් ද සාධාරණ හා අපක්ෂපාතී ලෙස   විසඳාගත හැකි බව පවසුවේය. බහු විවාහය සඳහා ඇති අයිතිය ද අහෝසි කළ යුතු බව පවසන සුබයිර් මහතා, ඒ  සඳහා වන කරුණු කුරාණයේ ඇති වගන්ති ඉදිරිපත් කරමින්  පැහැදිලි කළේය .  ආගම කොටස් වලට බෙදා  නොගන්නා ලෙස  කුරාණයේ සඳහන් කර ඇති බව පවසන සුබයිර් මහතා එවැනි අවස්ථාවලට ඉඩ ලබාදීම මගින් විවිධ අන්තවාදී සංවිධාන  බිහිවීමට ඉඩ ඇති බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාද අධ්‍යනය කිරිමෙන් පසු ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමින් වහන්සේගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති  වගකීමයි. මීට පෙර උතුරු හා නැගෙනහිර පළාත්වල සංචාරය කොට එම පළාත්වල ජීවත් වන ජනතාවගේ හා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ පිහිටා ඇති කාර්යාලයේ දී දිවයින ම නියෝජනය වන අයුරින් පැමිණි සංවිධාන හා පුද්ගලයින් ගේ අදහස් ලබා ගත්තේය.

මධ්‍යම පළාත් පළාතේ ජනතාවගේ අදහස් ලබා ගැනීම ඊයේ (27) දින නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ සිදුවේ. කමිටුව හමුවේ අදහස් පළ කිරීමට කැමති අයෙකුට පහත් අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැක. පහත ලිපිනයට තැපැල් හා විද්‍යුත් පණිවිඩ මගින් ද අදහස් පළ කිරීමේ හැකියාව ඇති බව කමිටුවේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය පවසයි.

කමිටුවේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ, කමිටුවේ සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, පානි වෑවල,එරන්ද නවරත්න  සහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ  අනු කමිටුවේ සභාපති වෛද්‍ය ජීවක බණ්ඩාර යන මහත්වරුන් එම අවස්ථාවට සහභාගි වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles