Wednesday, October 30, 2024

සංචාරක ආකර්ෂණය වැඩි කරන්න වැඩපිළිවෙළක්

සංචාරකයන්ගේ සිත්ගත් ආකර්ෂණීය ස්ථානවල යටිතල පහසුකම් නංවාලීම සඳහා අන්තර් අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකසා තිබේ.


ඒ සඳහා වගකියන සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහභාගිත්වයෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

දිවයින පුරා පිහිටි සංචාරක කලාපවල මෙන්ම සංචාරකයන්ගේ සිත්ගත් ආකර්ෂණීය ස්ථානවලට අදාළව පවතින ගැටලු විසඳීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව සංචාරක ඇමැතිවරයා සඳහන් කළේය.


මේ වන විට දිවයින පුරා සංචාරක කලාප 16 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

නිලාවේලි හා ඒ අවට, මාදු ගඟ හා ඒ අවට, ආරුගම්බේ හා ඒ අවට, ත්‍රිකුණාමලය හා ඒ, කල්කුඩා හා ඒ අවට, පින්නවල, දෙද්දුව, බෙන්තොට, කුච්චවේලි, කල්පිටිය, උණවටුන, මීගමුව, බේරුවල, ගල්කිස්ස, යාල හා ඇල්ල එම සංචාරක කලාපවේ.

නුවරඑළිය, හික්කඩුව හා දෙණියාය ප්‍රදේශ ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට අමතරව ප්‍රධාන නගර ආශ්‍රිතව සංචාරකයන්ට පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන ඉදිකිරීමටත්, දියඇලි ආශ්‍රිතව සංචාරක පහසුකම් සංවර්ධනය කිරීමටත්, අනෙකුත් සංචාරකයන්ගේ සිත්ගත් ආකර්ෂණීය ස්ථානවල සංචාරක පහසුකම් සංවර්ධනය කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බව ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර මෙම වසරේ ගෙවුණු කාලය තුළ විදෙස් සංචාරකයන් 174,930 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ මාසයේ දින 26 ක කාලයේදී පමණක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා විදෙස් සංචාරකයන් 69,941 දෙනකු පැමිණ තිබෙන අතර ඊට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී 44,294 දෙනකු සහ ඔක්තෝබර් මාසයේදී 22,771 දෙනකු මෙරටට පැමිණ ඇත.

පසුගිය දින 26ක කාලයේදී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංසය, මාලදිවයින, යුක්රේනය හා කසකස්ථානය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 7,951 දෙනෙකු පැමිණ තිබෙන අතර එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංඛ්‍යාව 6,819 කි.

ජර්මනියෙන් සංචාරකයන් 4,131ක් මෙරටට පැමිණ තිබෙන අතර ප්‍රංසයෙන් සංචාරකයන් 2,313ක් ද පසුගිය දින 26 තුළ මෙරටට පැමිණ ඇත. යුක්රේනයෙන් සංචාරකයන් 2,054 දෙනකු පැමිණ ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles