ජනපතිට “ශ්‍රී ලංකාධීෂ්වර පද්ම විභූෂණ” ගෞරව නාමය පිරිනමයි

0
340

මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරවාභිධානී නාමය පිරිනැමීය.

මාතෘ භූමියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අධිපතිත්වය හා අවශ්‍යතාව මෙන්ම ජනාධිපතිතුමාගේ අතීත සහ වර්තමාන නොකැළැල් පැවැත්ම සංකේතවත් කරමින් අද (02) පස්වරුවේ කෝට්ටේ රාජමහා විහාරයේ දී සංවිධානය කෙරුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව මෙම ගෞරව නාමය පිරිනමනු ලැබීය.

අදාළ සන්නස් පත්‍රය කියවීමෙන් පසු කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමියෝ ජනාධිපතිතුමා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනැමූහ.
පිළිගැනීමේ අනුශාසනාව එම මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමියෝ සිදු කළහ.

මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here