Saturday, September 21, 2024

හොරු කණ්ඩායම් දෙකම එළවලා ජනතා ආණ්ඩුවක් හදන්න එක්වෙන්න –
ටිල්වින් සිල්වා

වත්මන් ආණ්ඩුව ගරා වැටිච්ච වලව්වක් වගේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ගරාවැටිච්ච වලව් වල අයිතිකාරයින්ට ඇත්තේ බොරු අහංකාරකම පමණක් බවත් එහි ඉතිරි දේපළ ටිකත් වලව්වේ පුත්‍රයින් විසින් විකුණා දමමින් කටයුතු කරන අතර ඒ ආකාරයම වත්මන්  ආණ්ඩුවද ක්‍රියාකරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

මිනිස්සු කොපමණ පීඩාවකින් ජීවත් වුවත් බොරු පම්පෝරිය මදි නොකියන්න ආණ්ඩුව විසින් පෙන්වමින් සිටින බවට ඒ මහතා චෝදනා කරයි. ඊයේ (02) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව පැවසුවා.

මෙම මාධ්‍ය හමුවේදී ඔවු දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

“අපේ රටේ ජනතාව ඉතිහාසයේ කවරදාටත් වඩා විශාල අර්බුද රැසකට මුහුණදෙමින් ඉන්නවා. භාණ්ඩ මිල වැඩිවෙලා, භාණ්ඩ හිගයක් ඇතිවෙලා, පෝලිම් හැදිලා, පොහොර නැහැ කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. උයාගන්න ගෑස් නැහැ. මේවැනි මහා අර්බුදයක් තියෙද්දී ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ඉතාම බරපතලයි. ජනාධිපති කිසි ප්‍රශ්නයකට වගකියන්නේ නැහැ. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව රටට විහිළු සපයමින් ඉන්නවා. වියත් මගේ අය කිව්වේ සුපිරිම ආණ්ඩුව හදනවා; ගෝටාභය තමයි මේ රටේ බිහිවෙන හොඳම නායකයා කියලා. විමල් වීරවංශ කිව්වේ ගෝටාභය ලීක්වාන් යූ, මහින්ද මහතීර් මොහොඩ් වගේ, දෙන්නම එකතු වුණු ආණ්ඩුවක් කොහොම වෙයිද කියලා. දැන් අපිට පේනවා දෙන්න එකතුවෙලා රටට කරන විනාශය මොකක්ද කියලා. බොරු කියලා ආණ්ඩුවක් හදපු වියත්මඟට, විමල් වීරවංශලා ඇතුළු ආණ්ඩුවට මේ විනාශයේ වගකීමෙන් මිදෙන්න පුළුවන්ද?

පහුගිය කාලේ ජනාධිපතිතුමා කඩේ ගියා, පොලේ ගියා; හමුදාව දැම්මා ඒ හැම දේම කරලා අන්තිමට මිල පාලනයත් ඉවත් කළා. දැන් මිල හිතුමතේ වැඩි වෙනවා. හාල් මුදලාලිලා එළවලු තොග මුදලාලිලා කීප දෙනෙක් රටේ මිල පාලනය කරනවා. ඒ වගේම භාණ්ඩ හිගයක් ඇතිවෙලා. ගෑස්, කිරිපිටි, සහල්, සිමෙන්ති සෑම දේම හිගයි. පෝලිම් හැදිලා. ආණ්ඩුවේ වගකීම තමයි ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව ලබාදීම. ගෑස් නැතුව ජනතාව බරපතල ගැටලුවකට මුහුණ පාලා. මහා පරිමාණ හෝටල්වල, සංචාරක හෝටල්වල ගෑස් නැතුව උයන්න පුළුවන්ද? තරු පහේ හෝටල්වල දර ලිපේ උයන්න පුළුවන්ද? සංචාරකයින් පවා ගෑස් පෝලිම්වල. ගෑස් සංයුතිය වෙනස් කරලා ගෑස් ලිප් පිපුරුවා, දේපළ හානි වුනා. ජීවිත හානි වුනා. ජනාධිපතිට තවමත් මේකට විසඳුමක් දෙන්න බැරි වුනා. කොමිසමක් දාලා වාර්තාවක් ගත්තා. සති දෙකක් පහුවෙලා ගත්ත ක්‍රියාමාර්ගයක් නෑ. ගෑස් සංයුතිය වෙනස් කරලා මේ තරම් විනාශයක් කරපු නිලධාරීන්ට ගන්නා පියවර මොකක්ද? ජනතාවට වෙච්ච හානියට වන්දි ගෙවනවද? මේ කිසිවකට ආණ්ඩුවට උත්තර නැහැ.

තුනේ දෙකේ ආණ්ඩුවක් දුන්නා. 20 සම්මත කරලා දුන්නා. ඉල්ලපු බලතල සියල්ල දුන්නා. 20 සම්මත කරලා ගත්ත බලයෙන් මොනවද කරල තියෙන්නේ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ටික දෙන්න බැහැ. බලය පාවිච්චි කරලා ජනාධිපති කරන්නේ කිරි කඩ වහන එක. ෆේස්බුක් එකේ ලියන අය සීඅයිඩීයට ගෙන්වන එක. ජනතාව වෙනුවෙන් නම් විධායක බලය පාවිච්චි කරලා වැඩක් කරල නැහැ. ජනතාවට වග නොකියන ආණ්ඩුවක් නිසා රට අරාජික වෙලා. 2015 හදපු ආණ්ඩුව කාලේ රට අරාජික වුණු නිසා තමයි ගෝටාභය බලයට ගෙනාවේ. නමුත් දැන් ඊට වඩා අරාජිකවෙලා. රටේ ආණ්ඩුවක් නැති තරම්. ආණ්ඩුවේ අය නෑදෑ ගමන්, වන්දනා ගමන් යනවා රට අයාලේ යනවා.

මේ අර්බුදය ස්වාභාවික අර්බුදයක් කියල පෙන්වන්න ජනාධිපතිවරයා උත්සහ කරමින් ඉන්නවා. මේ අර්බුදය ස්වභාවික නැහැ. වසර 73ක් අනුගමනය කළ ආර්ථික ගමන්මගේ තර්කානුකූල ප්‍රතිඵලය මේක තමයි. ඒ වගේම මේ ආණ්ඩුව භාවිතා කළ මෝඩ මුග්ධ අඥාණ ක්‍රියාමාර්ග විසින් තමයි මේ අර්බුදය කැඳවලා තියෙන්නේ. ආහාර ප්‍රශ්නයක් ඇතිවෙලා, එළවලු ගිනි ගණන්. සහල් හිගයක් ඇතිවෙලා. ආනයනය කරන්න වෙලා. ඒත් ආනයනය කරන්න ඩොලර් නැහැ. මේ සියල්ල සිදුවුණේ ස්වභාවික ව්‍යවසනයක් නිසාද? නැහැ. මේක ගෝටාභය විසින් හදපු විනාශයක්. කෘෂිකර්මය ගොඩගන්න බැරි තැනකට වැටිලා. එහෙම වෙලත් ආණ්ඩුව වැරැද්ද හදාගන්න සූදානම් නැහැ. නිලධාරීන් එලවලා මේක යටගහන්න හදනවා. මේ ආහාර හිගයේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි.

ඒ වගේම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ තමන්ගේ හිතවතුන්ගේ ලාබය වැඩි කරන ක්‍රමයක්. එහෙම නැතුව ආණ්ඩුවට ආදායම් එකතු කර ගන්නා බදු ප්‍රතිපත්තියක් නෙවෙයි. වැට් බදු අඩුකරනවා කිව්වා. ඒ වාසිය ගියේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ට. ජනතාවට වෙච්ච වාසියක් නැහැ. සීනි බදු අඩු කළා. පොල් තෙල් බදු අඩුකළා. ඒ වාසිය ගත්තේ හිතමිතුරු ව්‍යාපාරිකයින් මිස ජනාතාව නෙවෙයි. අල සහ ළුෑණු බදු අඩු කරනවා කිව්වා. මිල පාලනයක් නැතුව බදු කළාට ඒ වාසිය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. වාසිය ලැබෙන්නේ ආනයනකරුටයි. බදු අඩු කළාට මේ වෙනකොටත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1500ක් පමණ වරායේ හිරවෙලා ඩොලර් නැතුව නිදහස් කර ගන්න බැරිව. ඒ නිසා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සියල්ල තිබෙන්නේ රට විනාශ කරන පැත්තටයි.

මේ ආණ්ඩුව ගෙනාවේ රට රකින්න කියලා. රට රකින විරුවා කියලා සිංදුත් කිව්වා. සම්පත් විකුණන්නේ නෑ විකුණපුවත් ගන්නවා කිව්වා. නමුත් දැන් රටට ඉතාම වැදගත් සම්පත් කීපයක් විකුණන්න යනවා. නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව විශාල විරෝධයක් ආවා. ආණ්ඩුව ඒ වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දුන්නා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකත් ඉන්දියානු සමාගමකට දෙන්න හදනවා. විරෝධයන් මැද ප්‍රමාද වුනාට කයිවාරු ගහන පච කෙලින ඊනියා දේශප්‍රේමී ගම්මන්පිල මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න හදනවා. ඉන්දියානු සමාගමට බදුදීලා තිබුණ තෙල් ටැංකි නැවත ලංකාවට ලබාගන්න පුළුවන්කම තිබියදී තවත් අවුරුදු 50කට ඉන්දියානු සමාගමට බදු දෙන්න යනවා. ඩොලර් ලබාගන්න පුළුවන් මාර්ග විකුණලා දානවා. අවුරුදු 05ට බලයට ඇවිත් රටේ සම්පත් අවුරුදු 50ට 60ට බදු දෙනවා. රනිල් මෛත්‍රී ආණ්ඩුවත් කළේත් එහෙමයි. ජනතාවට කොලේ වහලා සමාගමක් හදල තෙල් ටැංකි 61ක 49%ක අයිතිය ඉන්දියාවට දෙන්න යනවා. ණයට අරන් කාලා විනාශ කරලා දැන් ණයෙන් බේරෙන්න රට පාවාදෙමින් ඉන්නවා. ඉන්දියාව පාවිච්චි කරන තෙල් ටැංකිවලට අමතරව ඉතිරි තෙල් ටැංකි ටිකත් ඉන්දියාවටම දෙන්න ගහන ගේමක් මෙතන තියෙන්නේ.

ඒ වගේම කෙළවරපිටිය එල්එන්ජී බලාගාරයේ 40%ක අයිතිය ඇමරිකාවට දුන්නා. රටේ ස්වෛරීත්වයට ජාතික ආරක්ෂාවට වැදගත් සම්පත් සියල්ල ආණ්ඩුවේ අයිතිය අහිමිකරගෙන පිටරටවල්වලට විකුණමින් යනවා. බලශක්ති ක්ෂේත්‍රය කියන්නේ ජාතික ආරක්ෂාව සමඟ ගැටගැහුණු එකක්. මේ ආණ්ඩුව බල ශක්ති ක්ෂේත්‍රයට අදාල සියල්ල පිටරට සමාගම්වලට පාලනය කරන්න ඉඩ හදමින් ඉන්නවා. රට රකින්න, මව්බිම ආරක්ෂා කරන්න, මව් බිම වෙනුවෙන් පණ දෙන්න කියලා ආපු ආණ්ඩුව රටේ සම්පත් ටික විකුණමින් ජාතික අපරාධයක් කරනවා. වරාය කියන්නේ රටේ ආර්ථිකයට වැදගත් එකක්. හම්බන්තොට වරාය වසර 99කට චීනෙට දීලා. කොළඹ වරායේ තියෙන ජැටි කිහිපයක්ම ලංකාවට අයිති නැහැ. වරාය සේවා, විදුලි බෙදාහැරීම, ඉන්ධන බෙදාහැරීම රට සතුව නැත්නම් ලංකාවේ ස්වෛරීත්වය ගැන විශ්වාසයක් කොහෙන්ද? අපේ රට විදේශ රටක කොලණියක් බවට පත්වෙනවා.

අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට මොකද වුනේ. රටක මිනිස්සුන්ට කන්න තියෙනවනම් රටේ ආහාර සුරක්ෂිතතාවය තියෙනවනම් ඒ රට වට්ටන්න බැහැ. නමුත් පහුගිය කාලේ මේ ජනාධිපති සහ ආණ්ඩුව රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කරලා දැම්මා. තමන්ගේ හීනයක් වෙනුවෙන් කෘෂිකර්මාන්තය විනාශ කරල දැම්මා. ආහාර ආනයනය කරන්නත් ඩොලර් නැහැ. රටේ ජනතාවට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. රටක කෘෂිකර්මාන්තය නැත්නම් ඒ රට යටත් කර ගන්න පහසුයි. රාජපක්ෂලා රටට කරන්න පුළුවන් බරපතලම විනාශය කරලා ඉවරයි. විදුලිය කැපෙන තෙල් නැතිවෙන කන්න නැති රටක් බවට පත්වෙනවා. එහෙම තත්වයක් තියෙද්දී රටේ ජනතාව අන්දන්න හිතාගෙන බොරු කියනවා. මහබැංකු අධිපති ඩොලර් ගැන බොරු කයිවාරු කියනවා.

ලේකම්ලා මාරු කරනවා. කැබිනට් සංශෝධන ගේන්න හදනවා. එකම කුට්ටම ඇණුවට වැඩක් නැහැ. මේ රටට ලොකු වෙනසක් ඕනෑ. මේ අසමත් පාලනයෙන් අපේ රටේ ජනතාව මිදෙන්න ඕනෑ. පහුගිය ආණ්ඩුව තිත්තවෙලා තමයි මේ රාජපක්ෂ ආණ්ඩුව ගෙනාවේ. ඉතිං ඒ ආණ්ඩුවත් මෙහෙම නම් තව මොනවද ඉතිරි වෙලා තියෙන්නේ. මේ හොරු නඩ දෙකම ඉවත් කරලා රට හදන්න පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඒක තමයි එකම උත්තරය. ජාතික ජන බලවේගය මේ රට හදන්න වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. රට හදන්න පුළුවන් බලවේගයක් අපි සතුව ඉන්නවා. ඒ නිසා ජනතාවට අපි කියනවා රටේ දූ දරුවන්ගේ අනාගතය තවත් ඛේදවාචකයකට යන්න ඉඩ නොදී පෝලිම් යුගය නිමා කරලා සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න රට විනාශ කරපු හොරු කණ්ඩායම් දෙක්ම එළවලා රට ගොඩනගන වැඩපිළිවෙලක් සමඟ අත්වැල් බැඳගන්න කියලා”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles