භාවිතයට සුදුසු නොවන කාබනික පොහොර නැව වෙනුවෙන් එම පොහොරවලට අදාළ ගාස්තු ගෙවීම වළක්මින් මහජන බැංකුවට හා දේශිය නැව් සමාගමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය විසුරුවා හැරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා ඊයේ (3) නියම කළේය.
කාබනික පොහොර තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට ‘චින්ඩා ඕ’ සමාගම පිලිගෙන ඇති හෙයින් ණයවර ලිපි මගින් ගෙවීම් කටයුතු කිරීම තහනම් කරන්නැයි ඉල්ලා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සම් මෝසමක් මාර්ගයෙන් යළි කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
ජීවානුහරණය කළ කාබනික පොහොර එවීමට වු එකඟතාවය කඩ කරමින් ක්ෂුද්‍ර ජීවීන් අඩංගු කාබනික පොහොර එවු ‘චින්ඩා ඕ’ චීන සමාගමට එරෙහිව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම පැවරූ නඩු දෙක සමථයකට පත් කරගැනීමට මෙම ආකාරයෙන් වාණිජ මහාධිකරණය විසින් අවසර ලබා දී ඇත.
චීන සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ ප්‍රමිතියෙන් යුක්ත පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල රාජසන්තක කිරීමට දෙපාර්ශවය එකඟ වු අතර ප‍්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීම වෙනුවෙන් ‘චින්ඩා ඕ’ චීන සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමටද එම එකඟතාවයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
තවද ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් එවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බවද සමථ කොන්දේසිවල සඳහන් වේ.
චීන සමාගම හා ලංකා රජය අතර මෙම නැවට අදාළ ගැටලුව සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතා අනුව, මෙම නඩු දෙක සමථයකට පත් කර එම නඩු ඉල්ලා අස්කර ගැනීමටද අවසර දෙන්නැයි මෝසමක් මාර්ගයෙන් දෙපාර්ශවයේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නඩුව සමථයකට පත්කර මුදල් ගෙවීම වාරණය කරමින් නිකුත් කර තිබූ නියෝගයද විසුරුවා හැරියේය.