Saturday, September 21, 2024

මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම් කෙරේ

බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එමෙන්ම ප්‍රාද්ශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් බූස්ටර් එන්නත් ලබාදීම තවත් කඩිනම් කරන ලෙසත් ඒ සඳහා සෑම කොට්ඨාශයකටම මධ්‍යස්ථාන කිහිපයක් එක් කරන ලෙසත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී ඇත.

මෙමගින් ඉදිරි සති කිහිපය තුළ බූස්ටර් එන්නත ඉලක්කගත ජනගහනයට ලබා දීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වන විට මෙරට ඉලක්කගත ජනගහනයෙන් සියයට 28 ට බූස්ටර් එන්නත ලබාදී තිබේ. මේ මස අවසන් වන විට ඉතා ඉහළ ප්‍රතිශතයකට එම එන්නත ලබාදීම අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන් එළඹෙන 29 දිනට මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර වසරක් පිරෙන බවත්,ගතවූ එම කාලය තුළ එන්නත් මිලියන 45 ක පමණ ප්‍රමාණයක් මේ වන විට මෙරටට ගෙනවිත් තිබෙන බවත් අමාත්‍යවරයා කීවේය.

කේතය (QR code) හා යෙදුම (App) සහිත එන්නත්කරණ කාඩ්පත ඉතා ඉක්මනින් ලබාදෙන බවද එම කාඩ්පත සඳහා පූර්ණ එන්නත්කරණයට බූස්ටර් එන්නතද ඇතුළත් වන බව අමාත්‍යවරයා මෙහිදී කීය.

එනිසා බූස්ටර් එන්නත ලබාගැනීම එන්නත්කරණ කාඩ්පතට අනිවාර්ය වනු ඇති බවත් එය පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී අත්‍යවශ්‍ය වන බවත් හෙතෙම පැවසීය.

මෙි අතර වයස අවුරුදු 12 ත් 15 අතර මෙරට ළමුන් සදහා වන එන්නත්කරණය අද ආරම්භ කෙරෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

මෙයට පෙර වයස අවුරුදු 15 ත් 19 අතර ළමුන් සදහා වන එන්නත්කරණය සිදු කෙරුණි.

එයට අමතරව වයස අවුරුදු 12 ත් 15 දක්වා විවිධ සංකූලතා සහිත ළමුන් සදහා එන්නත්කරණයද මෙයට පෙර සිදු කළ අතර 30,000 ක පමණ ළමුන් පිරිසක් ඒ තුල එන්නත්කරණයට ලක් කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සඳහා වන එන්නත්කරණයේ දී මේ වන විට එක් එන්නතක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත.

එමෙන්ම පාසැල් ළමුන්ගේ එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් එන්නත නොගත් පාසැල් ගුරුවරුනටද එම ස්ථානයන්හිදී එන්නත් ලබාගැනීමේ හැකියාව ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ පාසල් ළමුන් ප්‍රවාහනයේ නියැළෙන්නෙන් ඇතුළු පිරිස් සඳහා ද මෙයට සමගාමීව බූස්ටර් එන්නත ලබාගැනීමේ හැකියාව ඇති බවත් ඒ තුළ කොවිඩ් ව්‍යසනයේ දී දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිම පියවර ගැනෙන බවත් අමාත්‍යවරයා පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles