Friday, November 29, 2024

චීන විදේශ ඇමති ජනපති හමුවෙයි . චීනයට පැමිණෙන ලෙස ජනපතිට ආරාධනයක් !

චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා.

මෙම හමුව ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිවරයා දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා සිහිපත් කරනු ලැබුවා.

කොවිඩ් වසංගතයට මුහුණදීමේ දී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍ය ආධාර වෙනුවෙන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා රජයේත්,ජනතාවගේත් ස්තුතිය විදේශ අමාත්‍යවරයා වෙත එහිදී පිරිනමා තිබෙනවා.

දෙරට අතර මිතුදම ආවර්ජනය කළ වැන්ග් යී මහතා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත්වන බවත් සමීප මිත්‍රයෙකු ලෙස චීනයේ සහාය සෑම විටම මෙරටට ලබාදෙන බවත් එහිදී පැවසුවා.

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සයිනොෆාම් එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිතුමා චීන රජයට තම කෘතවේදීත්වය පළ කළා.

නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කර ඇති පසුබිමක ජෛව බුබුළක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

කොවිඩ් වසංගතය හමුවේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිතුමාට ආරාධනා කළ වැන්ග් යී මහතා එය ඉතා නුදුරු දිනකදීම සිදුවනු ඇතැයි විශ්වාසය පළ කර සිටියා.

චීන තානාපති ෂී ෂෙන්හෝං (QI Zhenhong), නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය චෙන් කොමින් (QIAN Keming), සහකාර විදේශ අමාත්‍ය වූ චෙංහොන් (WU Jianghao), චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චොන්ග් මෝඕයු (HZHANG Maoyu), මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී ඇත.
 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles