Friday, November 29, 2024

ජනපති තම ධූර කාලය තුල ණය නොගත් කතාව බොරැවක් – පාඨලී ගත් ණය සියල්ල හෙළි කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තම පාලන කාලය තුළ විදේශීය ණය ලබාගැනීමට කටයුතු කළේ නැතැයි පසුගියදා කියා සිටියේය. තමන් ඒ පිළිබඳව ආඩම්බර වන බව ද හෙතෙම සඳහන් කළේය.

තමන් එකදු විදේශ ණයක්වත් ලබා ගත්තේ නැති බවත්, අනෙක් රජයන් විසින් ගත් ණය වාරික තමන්ට ගෙවීමට සිදු වී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

“මගේ අවුරුදු 2ක සේවා කාලය තුළ මම එක සතයක්වත් ණයට අරගෙන නැහැ. ණය ආපසු ගෙවීම ලෙස අපට වාර්ෂිකව ඩොලර් බිලියන 6.3 ක් ගෙවිය යුතුය. මේ ණය ගත්තේ පසුගිය රජයන්. එය සංවර්ධන කටයුතු සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා විය හැකි නමුත් අපට දැන් සෑම වසරකම ආපසු ගෙවීමට සිදුවී තිබෙනවා.“ ජනාධිපතිවරයා කීවේය.

එම ප්‍රකාශය අසත්‍යයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ රටේ ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය කියන තුනම උකස් කරලා තමයි පහුගිය කාලෙ ණය ගෙවිම් සිදු කල බවයි.

පසුගිය දෙවසර තුළ මෙම ආණ්ඩුව ඩොලර් බිලයන 5.18කට අධික ණය මුදලක් රැගෙන ඇතැයි සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියයි.

මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

ජනාධිපතිතුමා කියනවා සතයක්වත් ණය අරන් නෑ කියලා. මං හිතන්නෙ එතුමා වැරදියි. එතුමාගේ පාලන කාලය තුළ ඒ කියන්නේ 2020-21 වර්ෂවල ආසන්නයෙන් ඩොලර් මිලියන 5000කට ආසන්න ණය විදේශ රටවලින්, ඒ වගේම ජාත්‍යන්තර ආයතනවලින් අරගෙන තියෙනවා. ඒ වගේම එතුමා මේ පසුගිය කාලයේ ණය ආපසු ගෙවන්න ඒ කියන්නෙ ගත්ත ණය ආපසු ගෙවන්න විශේෂයෙන්ම 2021 වර්ෂයේ ගෙවපු විදේශ ණය වලින් 77%ක්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ යුගයේ ගත්ත ණය තමයි ගෙව්වෙ. ඒ ණය ගෙවීම සඳහා අති විශාල වන්දියක් මේ රටේ ජනතාව ගෙවනවා.

වෙන අය නම් කියන්නෙ ණය ගත්තහම රට උගස් කරනවා කියලා. එතුමා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය උගස් කළා. අද ජනතාවට බඩගින්නෙ ඉන්න වෙලා තියෙන්නෙ. බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙන්නෙ.

පොහොර, තෙල් ආදිය රටට ගෙන්වන්නෙ නැතුව ඒවා ඉතිරි කරගත්ත සල්ලි වලින් ණය ගෙවපු නිසා අද රටේ විශාල ඖෂධ හිඟයක් තියෙනවා. ඒ ඖෂධ හිඟ හේතුවත් ඖෂධ ගෙන්වන්නෙ නැතුව රටේ ණය ගෙවන්න ගිය නිසා ඒ වගේම දැන් ඇතිවෙලා තියෙනවා තෙල් හිඟය, ගෑස් හිඟය, විදුලි බල කප්පාදුව. ඒවටත් හේතුව ණය ගෙවන්න සල්ලි පාවිච්චි කරලා තෙල් ගේන්න, ගල් අඟුරු ගේන්න, ගෑස් ගේන්න සල්ලි නැති හින්දා.

ඉතිං ඒ නිසා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය කියන තුනම උකස් කරලා තමයි පහුගිය කාලෙ ණය ගෙව්වෙ. ඊට අමතරව ඩොලර් මිලියන් 5000ක්. විශේෂයෙන්ම අර අවසාන කාලයේදි අපේ මහ බැංකු අධිපතිතුමා ඩොලර් බිලියන 1.5 ත් එක්ක ඩොලර් මිලියන 5000ක පමණ ණය 2020-21 වසරවල අරන් තියෙනවා.

එම වාර්තාවලට අනුව 2020 වසරේදී පමණක් ඩොලර් මිලියන 1,875ක් ණය වශයෙන් ලබාගෙන ඇති බව මන්ත්‍රීවරයා කියයි. ඔහුට අනුව 2021 දී, මුළු ණය එක්සත් ජනපද ඩොලර් මිලියන 3,300 කට වඩා වැඩිය.

ඒ අනුව චම්පික රණවක සිය මුහුණුපොත හරහා බෙදාගත් තොරතුරු ප්‍රකාරව ගෙවී ගිය දෙවසර තුළදී ඩොලර් බිලියන 5.18කට අධික මුදලක් ණය වශයෙන් ගෝඨාභය රජය ලබාගෙන ඇත. මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ ණය ලයිස්තුව පහත දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles