Friday, September 20, 2024

නිලධාරීන්ගේ අත්තනෝමතික පාලන ක්‍රමය සහ දූෂණ වංචා රැසක් හේතුවෙන් අපේක්ෂා රෝහලට පැමිණෙන පිරිස් අපහසුවෙි

රෝගී හදවත් සනසාලමින් ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් ගෙන දෙන අරමුණින් අපේක්ෂා රෝහල ලෙසින් නම වෙනස් වූ මහරගම පිළිකා නිවාරණ රෝහල තුල මේ වනවිට පාලන අධිකාරියේ ඇතැම් නිලධාරින්ගේ අත්තනෝමතික පාලන ක්‍රමය සහ දූෂණ වංචා රැසක් හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින රෝගීන් දැඩි අපහසුතාවයකට ලක් වී ඇත.

හිටපු අධ්‍යක්ෂකවරයා වන දිවංගත වෛද්‍ය වසන්ත දිසානායක සහ වත්මන් වැඩබලන අධ්‍යක්ෂවරයා වන විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන් විසින් රෝහල් පරිපාලනයේ සියලු බලතල වැඩබලන පරිපාලන නිලධාරිනිය වන සකුන්තලා වික්‍රමසිංහ මහත්මියට පැවරීමත් සමග ඇය සහ ඇයට හිතවත් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු විසින් සිදු කරන පරිපාලන අක්‍රමිකතා සහ දුෂණ වංචා හේතුවෙන් රෝහලේ දෛනික කටයුතුවලට අහිතකර බලපෑමක් එල්ල වී ඇතැයි චෝදනා කෙරේ.

අපේක්ෂා රෝහලේ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා කිහිපයක්

1) රෝගීන්ගේ පෝෂණීය ආහාර වේලටත් තට්ටු

නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට දෛනිකව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා දෙන වියළි සලාක අඛණ්ඩව රෝහල් පරිපාලනය විසින් ලබාගන්නා අතරම පරිත්‍යාගශීලීන් සහ දානපතියන් විසින් රෝගීන් සඳහා ලබා දෙන උදෑසන හා දිවා ආහාරය සඳහා ලබා දෙන වියළි සලාක එහි පාලනාධිකාරියේ ඉහළ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු විසින් විශාල ලෙස කොල්ලා කෑමකට ලක් කරන බවට රෝහල් පරිපාලනය ට මේ වන විට චෝදනා එල්ල වී ඇත.

රෝහල තුල දෛනිකව නේවාසික ප්‍රතිකාර ලබාගන්නා උපරිම රෝගීන් ගණන 600 කට වඩා පහත මට්ටමක පැවතියද නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් කොපමණ අගයක් වුවද රෝහලේ රෝගීන්ට දිවා හා උදෑසන ආහාර වේල පිරිනැමීමට ඉදිරිපත්වන ඕනෑම පරිත්‍යාගශීලීයකුට රෝහලේ පරිපාලන ඒකකය මගින් ලබා දෙන ආහාර වට්ටෝරුව සකසා ඇත්තේ රෝගීන් 1100ක් වෙනුවෙනි.

මෙම අගය ඔවුන් ලබා දෙන්නේ නේවාසික රෝගීන්ට අමතරව රෝහල් සුළු සේවක කාර්ය මණ්ඩලයටත් සෑහෙන ආකාරයටය. රෝහල් පරිපාලන චක්‍රලේඛයට අනුව සුළු කාර්යමණ්ඩල සේවකයින් ට රෝහල විසින් ආහාර ලබා දිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය වියළි සලාක දෛනිකව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රෝහල් පාලන අධිකාරිය වෙත ලබා දීම සිදු කරන අතර ම චක්‍රලේඛයේ සඳහන් නොවන නමුත්
පරිත්‍යාගශීලීන් විසින් පිරිනමන ආහාර වේලට ද සුළු සේවකයින්ව ඇතුළත් කර ඇත.

ඒ අනුව නේවාසික රෝගීන්ගේ උදේ සහ දිවා ආහාරය සඳහා පරිත්‍යාගශීලීන් විසින් සපයනු ලබන වියළි සලාක ලේඛන ගත නොකොට ඉහත කී කණ්ඩායම විසින් වියළි සලාක ඔවුන්ගේ නිවෙස්වලට රැගෙන යන බවත් ඇතැම් ද්‍රව්‍ය අහල පහල වෙළෙඳසල් වලට විකුණන බවටත් තොරතුරු අනාවරණය වේ.

රෝහලේ රාත්‍රී ආහාරවේල සඳහා පරිත්‍යාග බාර නොගන්නා අතර බොහෝ විට රාත්‍රී ආහාරය නේවාසික රෝගීන්ට ප්‍රමාණවත් නොවන බවට වාට්ටු වලින් නිතර පැමිණිලි ලැබී ඇත. මේ පිළිබඳව හේතු සොයා බලන විට මුළුතැන්ගෙයට අවශ්‍ය ප්‍රමාණයට වියළි සලාක මුදාහැර නොමැති බවට කරුණු අනාවරණය වී තිබේ.

රෝහල් කාර්යමණ්ඩලය විසින් මෙම වංචා පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දන්වා යැවීමෙන් පසුව රෝහලේ වර්තමාන වැඩබලන අධ්‍යක්ෂවරයා වන විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා විසින් දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාග නිසි අයුරින් කළමනාකරණය කිරීම සඳහා විධිමත් ඒකකයක් ස්ථාපිත කරනු වෙනුවට පරිත්‍යාග ශීලීන් විසින් පිරිනමන දානමය ආහාර වේල මේ වන විට භාරගැනීම අත්හිටුවා ඇත.

මේ හේතුව මත පෝෂණවේදියකු විසින් නිර්දේශ කරනු ලබන ආහාර ප්‍රමාණය හා ආහාර වල ගුණාත්මක භාවය රෝගියාට අහිමි වී ගොස් ඇති අතර දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණ මාස ගණන් නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් අධික මිලකින් යුත් ආහාර පාන, බෙඩ් ශීට්, තුවා සහ සබන් වැනි දෑ අහිමි වීමත් සමග රෝගීන් මහත් අසීරුතාවයකට පත් වී ඇත .

රෝහලට ලබා දෙන පරිත්‍යාග වංචනික ආකාරයට පරිහරණය කළ බවට නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා වන ලලිත් පොද්දල්ගොඩ මහතා විසින් වැඩබලන පරිපාලන නිලධාරිනියට ප්‍රසිද්ධියේ චෝදනා කර ඇත.

2) රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් ගිලන් රථයෙන් පෞද්ගලික ගමන් යෑම

පරිපාලන දෙපාර්තමේන්තුවට අනුව වැඩබලන අධ්‍යක්ෂකවරයාට, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට සහ ගණකාධිකාරිවරයාට පමණක් නිල ප්‍රවාහනයට හිමිකම් ඇති නමුත් අනිකුත් නිලධාරීන්ට නිල ප්‍රවාහනයට හිමිකම් ලබා දී නොමැත.

බරපතළ රෝගී තත්ත්වයක් වන පිළිකා රෝගී තත්ත්වය යටතේ රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොයි මොහොතක නරක අතට හැරෙනවා ද යන්න කිව නොහැකි අතර එම අවස්ථාවන්හිදී එවැනි රෝගීන් වැඩි පහසුකම් සහිත රෝහල් කරා මාරු කර යැවීමට සහ හදිසි අවස්ථාවකදී බෙහෙත් ද්‍රව්‍ය රැගෙන ඒමට පවා රෝහල් ගිලන් රථ භාවිතා කරයි. එලෙස දැඩි ගිලන් රථ ඉල්ලුමක් රෝහලේ පවතිද්දී ඇතැම් අවස්ථාවන්හිදී ළඟපාත රෝහල්වලින් පවා ගිලන්රථ ඉල්ලා ගැනීමට සිදුවන අවස්ථාවන් ද පවති.එවැනි තත්ත්වයක් තුළ වැඩබලන පරිපාලන නිලධාරිනිය සිය රාජකාරි නිම වී තම නිවස බලා පිටත් කර හැරීමට බෙන්ස් වර්ගයේ (LW 1814) රෝහල් ගිලන් රථය භාවිතා කර ඇත. මෙලෙස රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට කිහිප විටක් රෝහල් කාර්ය මණ්ඩලය පැමිණිලි කළද මේ වන තුරු ඒ පිළිබඳ කිසිදු සොයා බැලීමක් සිදු කර නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහල් වැඩ බලන පරිපාලන නිලධාරිනිය වන සකුන්තලා වික්‍රමසිංහ මහත්මිය විසින් රෝහල් ගිලන් රථය ඇතුළු නිල වාහන අවභාවිතා කර ඇති බවට රෝහල් ගිලන් රථ ධාවන සටහන් මගින් මනාව ඔප්පු වේ.

3) සේවකයින්ට දේශපාලන වශයෙන්ද පුද්ගලික වශයෙන් ද පීඩාවන් සිදු කරමින් තමාට හිතවත් සේවකයින් ලංකර ගැනීම.

වැඩබලන පරිපාලන නිලධාරිනිය විසින්වෛද්‍යවරුන්, විශේෂ ශ්‍රේණිවල හෙද නිලධාරීන් , හෙද හෙදියන්, පරිපූරක වෛද්‍යවරුන් ඇතුළු සියලුම සේවකයන් තමන්ට යටත්ව අවනතව සිටිය යුතු බවට අවිනීත වදන් භාවිතා කරමින් ඔවුන්ගේ සේවය පහත් කොට සලකමින් අනුමැතියකින් තොරව පෞද්ගලික පලිගැනීම් ලෙස අභ්‍යන්තර ස්ථානමාරුවීම් නිතර නිතර සේවකයන්ට ලබාදීමට කටයුතු කරන්නීය.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින බහුතරය ඇයගේ ඥාතීන් සහ හිතමිත්‍රාදීන් බවට පවසමින් රාජ්‍යතන්ත්‍රයේ තමන්ට කරන්නට නොහැක්කක් නොමැති බවට පවසමින් සේවක නිලධාරීන් පීඩනයට පත්වන ආකාරයට හැසිරෙන බවටත් පුද්ගලික සහ දේශපාලනික පලිගැනීම් මත ආදේශක සෞඛ්‍ය කාර්ය සහයක සේවකයින් කිහිප දෙනෙකු ස්ථිර නොකිරීමත් ඇය විසින් පැහැර හැර ඇති බවට රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

ලොකු පොඩි තරා තිරම කිසිවක් වලංගු නැති පිළිකා මාරයාට ගොදුරු වී සිටින සුවහසක් රෝගීන්ගේ ජීවිත ජීවත් කිරීමටම වෙන්වූ ශ්‍රී ලංකාවේ අතිසංවේදී විශේෂිත රෝහලක් වන මහරගම අපේක්ෂා රෝහල තුළ සැගවී උඩු දුවන පිළිකාවක් බදු ඇතැම් ඉහළ පරිපාලන නිලධාරීන්ගේ වංචා දූෂණ පිළිබඳ මේ වනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිසි පියවරක් ගෙන නොමැත.

දිලංගා ගෝමස්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles