Thursday, September 19, 2024

Standard & Poors ශ්‍රේණිගත කිරීම ගැන මහ බැංකුවෙි කණගාටුව

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් තවදුරටත් පහළ දැමීම පිළිගත නොහැකි තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව පවසන්නේ එස් ඇන්ඩ් පී ආයතනය විසින් අසාධාරණ ලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කනස්සල්ලට පත්වන බවයි.

ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම CCC ප්ලස් තත්ත්වයේ සිට CCC මට්ටම දක්වා පහත හෙලීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය තීරණය කළේ ඊයේ දිනයේදීයි.

අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

බාහිර ආයතනවලින් සිදුකරන පදනම් විරහිත නිවේදනවලට අවධානය යොමුනොකොට ආයෝජකයන් ශ්‍රී ලංකා රජය සමග සෘජුව සම්බන්ධවීම අගය කරන අතර, නිරන්තර සෘජු සාකච්ඡා පවත්වා ගැනීම සඳහා රජය ආයෝජකයන් හට ආරාධනා කරන බව මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.

“එමෙන් ම, ණය ශ්‍රේණිගත කිරීමේ මෑත කාලීන පියවර මගින් සංචිත ගොඩනැගීමේ වේගය අඩාල කර ඇති අතර, එවැනි නිවේදන මත ක්‍රියා කළ ආයෝජකයින්ට හානිකර ලෙස බලපා ඇත.”

“එස් ඇන්ඩ් පී ආයතනය විසින් ධනාත්මක වර්ධනයන් නිරීක්ෂණය නොවෙතැයි සඳහන් කර තිබුණ ද, ප්‍රධාන ආර්ථික සහ මුල්‍ය දර්ශක, මෑතදී ප්‍රකාශයට පත් කළ අයවැය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඉදිරිපත් කරන ලද සය මාසික පෙරදැක්ම මගින් ඉදිරිපත් කරන ලද පියවර සහ සැලසුම් සමග අනුගතව පවතී.”

“නුදුරු කාලීන මුල්‍යන පහසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ ද්වීපාර්ශ්වික මූලාශ්‍ර සමග සිදුකරන සැලසුම් අවසන් වෙමින් පවතින අතර, එම පහසුකම් ඉදිරියේ දී ලැබීමට නියමිතය.”

“කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය අභියෝග ගණනාවකට මුහුණ දුන්න ද, සියලුම ප්‍රධාන දර්ශකවල ධනාත්මක වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරෙන ආකාරයට ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවට පැහැදිලිව ප්‍රකාශ වේ. සංචාරක කර්මාන්තය දියුණු වෙමින් පවතින අතර අපනයන අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ නැංවීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ද අපේක්ෂිත ප්‍රතිඵල ලබාදෙමින් පවතී. ද්‍රවශීලතා පහසුකම් හා වෙළෙඳ මූල්‍යනයන් ඇතුළු රජයක් විසින් තවත් රජයකට ලබාදෙන මූල්‍යන පහසුකම් සහ මහ බැංකු අතර මුදල් හුවමාරු ගිවිසුම් ඇති කරගැනීම සඳහා කලාපීය රටවල් සමග ඉහළ තලයේ සාකච්ඡා හරහා පියවර ගැනේ.”

“මෙම ක්‍රියාදාමයන් මගින් ශ්‍රී ලංකා ආර්ථිකය ඝීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් සහ වේගවත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.”

“සය මාසික ඉදිරි දැක්ම මගින් අපේක්ෂා කළ පරිදි සිදුවූ විදේශ විනිමය ලැබීම් හේතුවෙන්, 2021 වසර අවසානය වනවිට සංචිත තත්ත්වය අමෙරිකානු ඩොලර් බිලියන 3කට වඩා ඉහළ ගිය අතර, නුදුරු කාලය තුළ දී ද, එම මට්ටම ණය නොවන සහ මූල්‍යන ප්‍රවාහ තුළින් ක්‍රමානුකූලව ගොඩ නගා ගනිමින් පවත්වා ගෙන යාමට අපේක්ෂිතය.”

“මෙයට අමතරව, පසුගිය කාලය තුළ දී ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් විදේශීය ණය ප්‍රතිශතය අඩුවිය.”

“එබැවින්, රටේ සමස්ත ණය කළඹට සාපේක්ෂව සංචිත මට්ටම්වල නිරපේක්ෂ වටිනාකම පමණක් සැසඳීම නුසුදුසු ය.”

“එබැවින්, රජයට ඇති ඉදිරි ණය වගකීම් පියවීම සඳහා විදේශ විනිමය ගලා ඒම් තහවුරු කරගැනීම සම්බන්ධයෙන් රජය සහ මහ බැංකුව විසින් මෑත කාලීනව ලබා ඇති ප්‍රගතියට නිසි පිළිගැනීමක් ලබා දීමට එස් ඇන්ඩ් පී ආයතනය විසින් ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සිදු කරන ලද ඇගැයුමේ දී පැහැදිලිව ම අපොහොසත් වී ඇත.”

“මෙවැනි පසුබිමක් තුළ ඉදිරි කාලපරිච්ඡේදයේ දී රජයට ගෙවීමට ඇති සියලු ම ණය වගකීම් පියවීමට සහ ණය සේවාකරණය සම්බන්ධයෙන් පවතින නිකැළැල් වාර්තාව ඉදිරියටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාව ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ට නැවත සහතික කිරීමට රජය අපේක්ෂා කරයි.”

ශ්‍රී ලංකා රජය විසින් සිය කල්පිරෙන විදේශ ණය වගකීම් ආපසු ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් නිසිපරිදි සම්පාදනය කර ඇති අවස්ථාවක සහ 2022 වසරේ ජනවාරි 18 දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළු ණය සේවාකරණ ගෙවීම් පියවීමට ඇති දැඩි කැපවීම පිළිබඳව නැවත නැවතත් සහතික කර ඇති පසුබිමක, එස් ඇන්ඩ් පී ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ඊයේ දින සිදුකරන ලද ණය ශ්‍රේණිගත කිරීමට අදාළ නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දීර්ඝ පැහැදිලි කිරීම සිදුකර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles