ඉදිරි මාස කිහිපය තුළ ජනතා අයිතියට පත් කිරීමට නියමිත බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ ඉදි කිරීම් අවසන් අදියරේ

0
297

ඉදිරි මාස කිහිපය තුළ ජනතා අයිතියට පත් කිරීමට නියමිත බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම පිණිස සූර්යබල , සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඒ අනුව අවම නිෂ්පාදන පිරිවැයක් දරමින් මෙගාවොට් 35 ක විදුලි ධාරිතාවයක් යුතු බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව ගිගාවොට් පැය 126 ක විදුලි නිෂ්පාදනයක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.

ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ් ඇමරිකානු ඩොලර් මිලියන 97 ක ව්‍යාපෘති පිරිවැයක් දරමින් ඉදි කරනු ලබන්නකි.

කැලණි ගඟෙහි අතු ගංඟාවක් වන කෙහෙල්ගමුව ඔය හරහා ඉදිකෙරන කුඩා වේල්ලක් මගින් එහි ජලය ප්‍රධාන ජලාශයට යොමු කෙරෙන අතර මෙහි විදුලි බලාගාරය කිතුල්ගල කළුකොහුතැන්න ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතියි.

ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසුව මෙම ව්‍යාපෘතියට අනුබද්ධව සංචාරක ආකර්ෂණය වැඩි කිරීම පිණිස බලශක්ති කෞතුකාගාරයක් සහ බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාවට සූර්යබල , සුළං හා ජල විදුලි ජනන ව්‍යෘපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් , ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුලක්ෂන ජයවර්ධන, ව්‍යෘපෘති අධ්‍යක්ෂ හා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරී පිරිසක් ද එක්ව සිටියහ.

දිනමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here