18 වනදා තෙක් විදුලි කප්පාදුවකුත් නෑ. විදුලි බිල වැඩි කරන්නෙත් නෑ

0
264

ලබන 18 වනදා තෙක් විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම විදුලි බිල වැඩිකිරීමට මේ වනතෙක් කිසිඳු තීරණයක් ගෙන නැති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන මෙට්‍රික් ටොන් 3,000ක් ලබාදීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

“අපිට මෙට්‍රික් ටොන් 3,000ක් කැලණිතිස්ස බලාගාරයට ලැබිලා තියෙනවා දැවි තෙල්. ඒ අනුව අපිට පුළුවන් 18 වැනිදා තෙක් විදුලිය විසන්ධියකින් තොරව යන්න. නමුත් අපි හෙට බලාපොරොත්තු වෙනවා ඛනිජතෙල් සංස්ථාවත් එක්ක නැවත සාකච්ඡා කරන්න. අපිට 22 වෙනකම් අවශ්‍ය තෙල් ටික ලබා දෙන්න කියලා. මොකද අපි වාර්ෂිකව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය තෙල් සංස්ථාවට දන්වනවා”

මෙි අතර අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් සාකච්චා කිරීමට හෙට නියමිත බවද විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රියවීමත් කැළණිතිස්ස බලාගාරයේ හදිසියේ මතුවූ කාර්මික දෝෂයත් නිසා විදුලි බල අර්බුදයක් හටගත් අතර වැසි රහිත කාලගුණයත් සමඟ ජලවිදුලි බලාගාරවල ජල මට්ටමද සීග්‍රයෙන් අවම වෙමින් පවතී.

වාරිමාර්ග සහ පානීය ජලපහසුකම් සඳහා අවශ්‍ය ජලය වෙන් කිරීමෙන් පසු විදුලිබල නිෂ්පාදනයට වෙන්වන්නේ ජලාශවල සමස්ත ධාරිතවයෙන් සීයයට 35 ක් පමණි. ඩොලර් අර්බුදය හේතුවෙන් ඩීසල් සහ දැවිතෙල් මගින් ක්‍රියාත්මක වන බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනීමද ගැටළුවක් බවට පත්ව ඇත.

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්සඳහන් කළේ විදුලි නිෂ්පාදනය සහ අනෙකුත් අවශ්‍යතා සදහා ඛනිජ තෙල් ආනයනයට අවශ්‍ය ඩොලර් ලබාදීම සාර්ථකව සිදු කල හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here