Tuesday, September 24, 2024

දෙමළ ඩයස් පෝරාව සමග සාකච්ඡා කරන්න සූදානම් – ජනපති තාරික් අහමඩි සාමිවරයාගෙන් ඉල්ලයි

මානව හිමිකම් පිළිබද ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිලිබද අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා (Lord Tariq Ahmad) පවසයි.

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් පිළිබඳ සියලු ගැටලු ඉදිරියේදී නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ඒ බව පවසා තිබේ.

එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ඒ සඳහා ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසන ලෙස තාරික් අහමඩ් සාමිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉන්දියානු සාගර කලාපය, මධ්‍යම ආසියාව, පොදු රාජ්‍ය මණ්ඩලය සමග සහයෝගීතාව ඇති කිරීම සඳහා ක්ෂේත්‍ර රැසක වගකීම් පැවරී ඇත්තේ තාරික් අහමඩ් සාමිවරයාට ය.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අරමුණු ඉටු කර ගැනීමට සහ තාක්ෂණික බාධක ජය ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වූ අහමඩ් සාමිවරයා සිය රටට ගිය විගස ඒ පිළිබඳ සොයා බලා ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ආයෝජනයට පහසුකම් සැපයීමෙන් ආයෝජකයන් ආකර්ෂණය කරගත හැකි බව පෙන්වා දුන් සාමිවරයා එක්සත් රාජධානියේ පදිංචිව සිටින විවිධ ජාතීන්ට අයත් ජන කොටස් ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා අපේක්ෂාවෙන් සිටින බවද පවසා තිබේ.

ලංකාව මුහුණ දී ඇති සියලු ගැටලු විසඳමින් එක ජන කොටසක් ලෙස ජීවත් වීමට හැකි පරිසරය උදා කිරීම රජයේ අරමුණ වී තිබේ. එහිදී එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සඳහා ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසන ලෙස තාරික් අහමඩ් සාමිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සමීප ප්‍රායෝගික මිත්‍රයෙකු ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට සැමවිටම සූදානමින් සිටින බව ද සාමිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් (Sarah Hulton), පළමු ලේකම් මැතිව් ඩීත් (Mathew Deith), තාරික් අහමඩ් සාමිවරයාගේ සහකාර ඉසබෙල් ස්කොට් (Isabelle Scott), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles