තාප විදුලි බලාගාරවල දැවි තෙල් ලබන අඟහරුවාදා වන විට අවසන් වීම නිසා එදින සිට රාත්‍රී කාලයේ විදුලිය සැපයුම කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
දැවිතෙල් නොමැතිවීම නිසා විදුලි බලාගාර කිහිපයක් ඇණ හිටීමෙන් අඟහරුවාදා දිනයේ සිට මෙගාවොට් 183 ක ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවත් ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ දී අනිවාර්යයෙන්ම විදුලි සැපයුම අත්හිටුවීමට සිදු වන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලි සැපයුම විසන්ධි කරන ආකාරය සහ වේලාව ලබන හෙට දිනයේදී දැනුම් දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි
විදුලිය ජනනය සඳහා අවශ්‍ය දැවිතෙල් නොමැති වීම තුළ අඟහරුවාදා (25) දිනයේ සිට විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
”සඳුදා අපේ උපරිම ඉල්ලුම සපයා ගැනීමේදී යම්කිසි ගැටලුවක්, ඒ කියන්නෙ මෙගාවොට් 50ක විතර හිඟයක් ඇතිවෙන්න පුළුවන්. ඒක විශාල වශයෙන් විදුලිය කපාහැරීමකට බලපාන්නෙ නෑ. හැබැයි ඔය කතන්දරේ අඟහරුවාදාට වෙනසක් වෙනවා. මොකද, අර වරායේ තියෙන බාර්ජ් එක සහ උතුරු ජනනී – බාර්ජ් එකේ මෙගාවොට් 60ක් තියෙනවා උතුරු ජනනී මෙගාවොට් 23ක් තියෙනවා, එතකොට අර 100ත් එක්ක අඟහරුවාදා වෙනකොට අපට 163ක් තාප බලාගාරවල අපේ ධාරිතාව නැතුව යනවා. ඒ තත්වය යටතේ අපට උපරිම ඉල්ලුම සපයා ගැනීම අනිවාර්යයෙන්ම ගැටලුවක් වෙනවා. ඒ කියන්නෙ ඒ වෙනකොට අපට දැවිතෙල් ලැබුණෙ නැත්නම්”
ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා ඊයේ (22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
මේ අතර විදුලිය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස මාර්ගවල විදුලි පහන් නිවා දැමීමට රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
පස්වරු 6.30 සිට රාත්‍රී 11 දක්වා මාර්ගවල විදුලි පහන් නිවා දමා රාත්‍රී 11.00 න් පසුව නැවත විදුලි පහන් දැල්වීමට හෝ පස්වරු 6.30 සිට රාත්‍රී 10.00 දක්වා මාර්ගවල විදුලි පහන් දල්වා ඉන් පසුව විදුලි පහන් නිවා දැමීමට හෝ රජයට යෝජනා කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් කීය.