Friday, November 15, 2024

කහ අස්වැන්න තුළින් අද රට ස්වයංපෝෂිත වෙලා

කහ අස්වැන්න තුළින් අද වනවිට රට ස්වයංපෝෂිත වී ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් බෙදා දීමේදී ඇතැම් ජනතාවත්, සමාජ මාධ්‍යත් එය උපහසයට ලක් කළ බවත්, පසුගිය කාලයේ අමාත්‍යවරු සීතල කාමර වලට වී කටයුතු කළ නමුත් අද රජයේ සියළුම අමාත්‍යවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් ගමින් ගමට ගොස් ජනතා සේවය සිදු කරන බවත් කී අමාත්‍යවරයා අද රාජ්‍ය ආයතන රැසක් ලාභ ලබන ආයතන බවටද පත්ව ඇති බවද සඳහන් කළේය.

පසුගිය රජය සමයේ ජාතික ආරක්ෂාව ඇඳ වැටී සංචාරක ක්ෂේත්‍රය කඩා වැටුණ බවත් අතිගරු ජනාධිපතිවරයා අද ක්‍රමානුකූලව එය ගොඩනගමින් පවතින බවත් පැවසූ අමාත්‍යවරයා අපනයන ආදායම් වැඩිකර ආනයන අපනයන පරතරය අඩුකර ගොඩනගන ආර්ථිකයේ ප්‍රතිඵල හිමිවන්නේ අද නොවේ අනාගතයේදී බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශය තුළ අද බුලත් අපනයන ගම්මාන, මල් අපනයන ගම්මාන බිහිකර ඇති බවත්, කාබනික පොහොර සියයට සියයක් යොදා ගනිමින් වගා කළ කෙත්වතු වල අස්වැන්න මේ වනවිට නෙළමින් වී කිලෝවක් රුපියල් 70 ත් 80 ත් අතර මුදලකට අලෙවි කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් “ගොවියාට උපරිම මිලක් – පාරිභෝගිකයාට සහන මිලක්” යටතේ ගොවි ජනතාවගේ කහ අස්වනු මිලදී ගැනීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිණි.

ඒ අනුව සමාරම්භක උත්සවයට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයෙන් කහ කිලෝගෑම් 20,000 රජයේ සහතික මිල වන රුපියල් 165 කට අද සිට මිලදී ගන්නා ලදි. ගොවීන්ගෙන් ලබාගත් කහ අස්වනු වෙනුවෙන් මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles