පසුගියදා සිදුවූ ටොංගා (Tonga) ගිනිකන්ද පුපුරායෑම දෙවැනි ලෝක යුද්ධයේ ඇමෙරිකාව හිරෝෂිමාවට එල්ල කළ පරමාණු බෝම්බයෙන් ඇති වූ පිපුරුම මෙන් සිය ගුණයක් බලවත් බව ඇමරිකාවේ නාසා ආයතනය කියයි.
ඇතැම් තැනක එය සඳහන් වන්නේ හිරෝෂිමාවට හෙළුෑ පරමාණු බෝම්බය මෙන් 1200 වාරයක් බලවත් පිපිරුමක් යනුවෙනි. එය TNT පුපුරණ ද්‍රව්‍යයේ මෙගාටොන් 4-18 දක්වා තොගයක් පිපිරීමට සමාන බව කියැවේ.
ටොංගා යනු ඕස්ට්‍රේලියාවේ බි්රස්බේන් නගරයේ සිට සැතැපුම් 2000ක් අෑතින් පිහිටි දූපත් රාජ්‍යයකි. එය සමස්ත භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 290කට ආසන්න කුඩා දූපත් 170කින් පමණ සමන්විත දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටි දූපත් රාජ්‍යයකි.
සාගර ජලයෙන් යටවී පවතින හුංගා ටොංගා – හුංගා හා’අපායි (Hunga Tonga – Hunga Ha’apai) යනුවෙන් හැඳින්වෙන මෙම සුවිසල් ගිනිකන්ද කලක් තිස්සේ නිද්‍රාශීලීව සිට සක්‍රිය වන්නට ගත්තේ දශක දෙකකට පමණ පෙරය. මෙම සක්‍රියතාවේ ප්‍රතිඵලයක් ලෙස නව දූපත් දෙකක් 2015 වනවිට නිර්මාණය වූ අතර එම දූපත් දෙක එක් කරමින් හුංගා ටොංගා – හුංගා හා’පායි යනුවෙන් හඳුන්වනු ලැබිණි.
එහෙත් වසර දහස් ගණනකට පසුව ඉකුත් ජනවාරි 15දා එරට වේලාවෙන් සවස 5.14ට පැසිෆික් සාගරයේ පවතින මේ දැවැන්ත ගිනිකන්දේ මහා පිපුරුමක් ඇතිවිය. ඊට පෙර ජනවාරි 14 වැනිදා සිටම ගිනිකන්දේ පිපුරුම් වරින්වර ඇතිවූ අතර අළු අහසට විහිදුණි. මෙම අළුවලින් දූපත් රාජ්‍යයේ දූපත් වැසී යන්නට විය. සාගර ජලයට අළු මෙන්ම ගිනිකන්දෙන් නිකුත් වන ලාවා සිසිල් වීමෙන් සෑදෙන මැග්මා (magma)ද එක්වන්නට විය. එසේම ගිනි කඳු පුපුරායෑමේදී නිකුත් වන වායූන්ගෙන්ද වාතය දූෂණය වෙමින් තිබිණි. එහෙත් ජනවාරි 14දා ඇරඹුණු මේ විපත්තීන් එතෙකින් කෙළවර නොවීය. උච්චතම අවස්ථාව එළැඹියේ ජනවාරි 15දා සිදුවූ මහා පිපිරුමෙනි.
හුංගා ටොංගා ගිනි කන්දේ මහා පිපුරුමේ හඬ ඕස්ට්‍රේලියාවට ඇසිණි. ඒ අවට පිහිටි සෑම රාජ්‍යයකටම පිපුරුම් හඬ ඇසුණු අතර කැනඩාවේ යුකෝන් ප්‍රදේශයට පවා එම හඬ ඇසුණු බව සඳහන් වේ. මෙම මහා පිපිරුමත් සමඟම ඇතිවූ තර්ජනය වූයේ සුනාමි බියයි.
ගිනිකන්දේ සුවිසල් පිපිරුම සැටලයිට් ඡායාරූප ගත විය. ආසන්න රාජ්‍යයන් ගණනාවකට සුනාමි තත්ත්වයක් ඇති වූ අතර තවත් රාජ්‍යයන් ගණනාවකට සුනාමි අනතුරු හැඟවීම කරන ලදී.
සුනාමි තත්ත්වයන් බොහෝවිට ඇතිවන්නේ පොළොවේ හෝ මුහුදු පතුලේ ඇතිවන භූකම්පනයන් මඟිනි. මෙලෙස ගිනි කන්දක් පුපුරා යෑමෙන් හටගන්නා සුනාමි තත්ත්වයන් ඉතා දුලබ වන අතර මෙවැන්නක් වසර දෙසීයක කාලයකට පෙර පවා වාර්තා වී ඇත්තේ ගිනිකඳු සුනාමි 100කට අඩු ප්රමාණයකි.
මෙකී මහා පුපුරා යෑමෙන් කලින් කී හුංගා ටොංගා – හුංගා හා’අපායි යන බිම් දෙකෙන් නිමැවුණු නව භූමිය සම්පූර්ණයෙන්ම අතුරුදන් වූයේ පැරැණි දූපත් දෙකේ කැබලි පමණක් ඉතිරි කරමිනි.
මෙම පුපුරා යෑමත් සමඟම ඇති වූ සුනාමි තත්ත්වයෙන් ටොංගා රාජ්‍යයට අයත් වූ දූපත් තුනක් සම්පූර්ණයෙන්ම විනාශ විය. එම දූපත්වල පදිංචිවූවන්ගේ නිවාස මුහුදු වතුරින් සේදී ගියේය.
කෙසේ නමුත් හුංගා ටොංගා – හුංගා හා’අපායි ගිනිකන්ද පුපුරායෑමෙන් ජීවිතක්ෂයට පත්වූ අයගේ ගණන සඳහන් වන්නේ 5ක් වශයෙනි. 18 දෙනකු තුවාල ලබා ඇත. අනෙකුත් අය මේ වනවිටත් අතුරුදන්ය. සමහරවිට අතුරුදන්වූවන් නිල වශයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ගොඩට එක්ව පසු කලෙක නිවැරැදි සංඛ්‍යා නිල වශයෙන් අනාවරණය කිරීමට ඉඩ ඇත.
පිපුරුමෙන් විනාඩි 15කට පසු සුනාමි තත්ත්වය ඇතිවී ඇත. මෙහිදී පළමු රළ පහර ඉතා වේගවත් වී ඇත. ඉන් අනතුරුව තවත් විශාල රළ පහර 3ක් වෙරළට විත් ඇත. සුනාමි තත්ත්වයත් සමඟම ටොංගාහි රජු වන හය වැනි ටුපොව් (King Tupou vi) ජීවිත ආරක්ෂාව පතා රාජ මන්දිරයෙන් ඉවත් වී ඇත. ජීවිත ආරක්ෂාව පතා කඳු මුදුන් කරා ප්‍රවේශ වන ජනයා හේතුවෙන් මහාමාර්ගයන්හි තදබදයක් ඇති වී තිබේ.
ටොංගටාපු නමින් හැඳින්වෙන ටොංගා රාජ්‍යයේ ප්‍රධාන දිවයිනේ බටහිර වෙරළට ආ සුනාමි රැල්ල මීටර් 15කට එනම් අඩි 49කට වඩා උස මුහුදු රැල්ලක් බව කියැවේ. ඕස්ට්‍රේලියාවේ නැඟෙනහිර වෙරළට අඩි 4යි අඟල් 2ක් උසට රැල්ල ගසා ඇත.
පිපිරුම සමඟ උඩට විහිදුණු අළු සමඟ ගල් කැට ප්‍රදේශය පුරා පතිත වී ඇත. ගිනි කඳු අළුවලින් ටොංගාහි ප්‍රධාන ගුවන්යානා ධාවන පථය වැසී ගොස් තිබූ නිසා එම අළු ඉවත් කර ධාවන පථය පාදා ගැනීමට දින කිහිපයක් ගොස් ඇත.
එම අළු ඉවත් කළ පසු අනෙක් රටවලින් සහන රැගත් ගුවන් යානා ප්‍රවේශ වී ඇත. සුනාමි රළ පහරින් මුහුදු පතුල හරහා දමා තිබූ දුරකථන රැහැන්වලට හානි වීමෙන් ප්‍රධාන දූපතේ දුරකථන සබඳතා හා අන්තර්ජාල සම්බන්ධතා මුළුමනින්ම ඇනහිට ඇත. ඒවා යථා තත්ත්වයට පත්කරලීමට නෞකාවක් පැමිණෙනු ඇතැයි ටොංගා රාජ්‍යය බලාපොරොත්තුවෙන් පසුවේ.
ගිනි කඳු අළු සෑම අතම විසිරීමෙන් පානීය ජලය හා වාතය දූෂණය වීමේ බරපතළ ගැටලුද මතු වී තිබේ.
සුනාමි තත්ත්වය හේතුවෙන් මුළුමනින්ම විනාශ වී ඇත්තේ Nomuka, Mango සහ Fonoifua යන දූපත් තුනයි. කෙසේ නමුත් ටොංගාහි මුළු ජනගහනයෙන් 70%ක් පමණ වූ 1,00,000ක් පමණ දෙනා ජීවත් වන්නේ එම රාජ්‍යයට අයත් විශාලතම මෙන්ම ප්‍රධාන දූපත වන Tongatapuහිය. රාජ්‍යයට අයත් දූපත් 170න් බොහොමයක් ජනාවාසයෙන් තොරය. එහෙත් සුනාමි රළ පහරින් විනාශ වූ ඉහත දූපත්වල වැසියන් පදිංචිව සිට ඇත.