Sunday, November 3, 2024

“යුක්‍රේන ආක්‍රමණය” ගැන පුටින් කතා කරයි

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයක් ඇති කිරීමට එක්සත් ජනපදය උත්සහ කරන බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චෝදනා කර තිබේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ගැටුම්කාරී තත්ත්වයක් ඇති කර එය යොදා ගෙන රුසියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීම එක්සත් ජනපදයේ අරමුණ බව ය.

එමෙන් ම, යුරෝපයේ ස්ථානගත කර සිටින නේටෝ හමුදා සම්බන්ධයෙන් රුසියාව දක්වන සැලකිල්ල එක්සත් ජනපදය නොසලකා හරින බව ද රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජනපදය සහ එහි නේටෝ සන්ධානයේ හවුල්කරුවන්, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සැලසුම් කරන බවට චෝදනා කරන අතර එය රුසියාව නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇති බව ය.

ගත වුණු සති කිහිපයක තුළ රුසියාව යුද්ධ ටැංකි සහ කාලතුවක්කු ඇතුළුව සිය සන්නද්ධ හමුදා භටයින් 100,000ක් පමණ යුක්‍රේන දේශ සීමාවට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

යුක්‍රේන රජය මෙහෙයවීම සඳහා මොස්කව් හිතවාදී පාලකයෙකු ස්ථාපනය කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කුමන්ත්‍රණය කරන බවට එක්සත් රාජධානිය පසුගිය දා චෝදනා කළේ ය.

ඔවුන් සඳහන් කළේ, හිටපු යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන යෙවන් මුරායව් ඒ සඳහා යොදා ගැනීමට රුසියාව පියවර ගනිමින් සිටින බව ය. 

එවැනි පත්වීමක් සිදු වුවහොත් රුසියානු රජයට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද ඔවුන් අනතුරු අඟවා තිබිණි.

එමෙන් ම, රුසියාව මේ මස යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇති බවට පැහැදිලි සම්භාවිතාවක් ඇතැයි අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ද අනතුරු ඇඟවීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles