Monday, November 25, 2024

ලෝක තෙත්බිම් දිනයදා තෙත් බිම් ගැන දැනගන්නට ලැබුණු පුවත

ලෝක තෙත් බිම් දිනය සෑම වසරකම පෙබරවාරි 2වන දින විවිධ තේමාවන් යටතේ සමරන අතර 2022 වසරේ ලෝක තෙත්බිම් දිනයේ තේමාව වනුයේ “Wetlands Action for People and Nature” – “ජනතාව හා සොබාදහම සඳහා තෙත් බිම් ක්‍රියාකාරීත්වය” යන්නයි. එසේම ප්‍රධාන තේමා පාඨය ලෙස “Value – Manage – Restore – Love” අගයමු – කළමනාකරණ කරමු – ප්‍රතිස්ථාපනය කරමු – ආදරය කරමු යන්නයි.

1971 වසරේ පෙබරවාරි 02 දින ඉරානයේ රැම්සා නගරය අවට කැස්පියන් මුහුදු වෙරළේ තෙත්බිම් තීරය ආරක්ෂා කර ගැනීම සඳහා සම්මුතියකට එළඹි අතර එය තෙත්බිම්වල පාරිසරික ස්වභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අත්සන් කළ පැරණිතම ගිවිසුමක් ලෙස සැළකේ. එම සම්මුතියේ වැදගත්කම සලකා අදාල සම්මුතිය අත්සන් කළ පෙබරවාරි 02 වැනිදා ලෝක තෙත්බිම් දිනය ලෙස නම් කෙරිණි.

මේ වනවිට රැම්සා සම්මුතිය සඳහා රටවල් 100 කට වැඩි ප්‍රමාණයක් අත්සන් තබා ඇති අතර ශ්‍රී ලංකාව 1990 වසරේදී ඒ සඳහා අත්සන් තබා එහි පාර්ශව කරුවෙකු ලෙස තෙත් බිම් සුරැකීමට කටයුතු කර ඇත.

අද තෙත් බිම් දිනය සමරද්දී දැනගන්නට ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පැවති තෙත් බිම් හෙක්ටයාර් 46,600න් මේ වන විට ඉතිරිව ඇත්තේ හෙක්ටයාර් 2,000කට ආසන්න ප්‍රමාණයක් යැයි හෙළි වී තිබේ. 

වසර සියයකට ආසන්න කාලයක් තුළ සිදු කළ ඉඩම් ගොඩකිරීම්වලින් මේ විනාශය සිදුව ඇති අතර ඉකුත් වසර 10ක පමණ කාලය තුළ මෙම හානිය දෙගුණ-තෙගුණ වූ බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ තත්ත්වය යටතේ කොළඹ ජලගැලීම් පාලනයට, ජෛව විවිධත්වය රැක ගැනීමට මෙන් ම පරිසරයේ සමතුලිත බව රැක ගැනීමට ද ඇති හැකියාව ශීඝ්‍රයෙන් අහිමි වෙමින් පවතින බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ මොහොත වන විටත් කෝට්ටේ, ඇතුල්කෝට්ටේ, බත්තරමුල්ල වැනි ප්‍රදේශවල ද ඇතැම් ප්‍රදේශවල කුඹුරු ඉඩම් ද අනවසර ගොඩකිරීම්වලට ලක්වෙමින් පවතින බව පෙන්වා දුන් විතානගේ මහතා රැම්සා තෙත් බිම් සහිත නගරයක් වන කොළඹ මේ වන විට ඉතිරි වී ඇති තෙත් බිම් ටික හෝ රැක ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද කීය.

වනජීවී පනත වැනි ශක්තිමත් පනතකින් ආවරණය වන පරිදි දැනට පවතින තෙත් බිම් ප්‍රමාණය හෝ ගැසට් කර ආරක්ෂා කරගත යුතු යැයි ද ඔහු කියා සිටියේ ය.

මව්බිම

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles