Thursday, November 28, 2024

ඩොලර් ප්‍රශ්නය විසදන්න IMF වෙත යාම ඉතා හොඳයි – රාජ්‍ය ඇමති ලාන්සා

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය අවුරුදු දෙක තුළ  ආර්ථික අභියෝග රැසක් එල්ල වූ බවත්, එම අර්බුදයෙන් ගොඩඒම සඳහා එක් වැඩපිළිවෙලක් ලෙස අයවැයෙන් වැඩ ලක්ෂයක් යටතේ ආහාර සුරක්ෂිතතාවය, අලුත් ආදායම් උත්පාදනය හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් ජනතාවට ලබාදීම වෙනුවෙන් “අයවැයෙන් වැඩ ලක්ෂයක්” වැඩසටහන රටපුරා අද දිනයේ ආරම්භ කළ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.


රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ රාගම, වැලිසර, මූලගන්දකුටි පිරිවෙන් විහාරස්ථානයේ සංඝාවාසය ඇතුළු තෙමහල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු කෙරවලපිටිය සුමේධ නාහිමිපාණන් වහනසේගේ අනුශාසනය පරිදි අද (03) දින එම විහාරස්ථානයේදී ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්ය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,


ආර්ථික අභියෝගවලින් ගොඩඒම සඳහාත්, ග්‍රාමීය ආර්ථිකය ගොඩනැංවීම සඳහාත් මෙම වැඩසටහන ආරම්භ කළ අතර එමගින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි  බලාපොරොත්තු වෙනවා. 
අපිට මේ අවස්ථාවේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. රටවල් මේ වගේ ගැටලුවලට මුහුණ දෙන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උපදේශනය, ආධාර, අරමුදල්, ණය ආධාර ලබා දෙනවා.

මගේ මතය මෙම ගැටලු කළමනාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම ඉතා හොඳයි කියලා. කොවිඩ් නිසා ලෝකයේ සෑම රටකම ආර්ථික අර්බුද ඇතිවුනා. ඒ නිසා ණය සේවා කළමනාකරණය කළ යුතුයි. ලෝකයම මේ සඳහා යොමුවෙලා තියෙනවා. ඒ නිසා මෙය සිදු කළ යුතුයි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles