Saturday, September 21, 2024

මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය ආයතන වල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කරයි.

මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය ආයතන වල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත .

ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනටමත් යොමුකොට තිබේ .

ආණ්ඩුව මුහුණ දී සිටින දැවැන්ත මුල්‍ය අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආයතනවල වියදම් රැසක් කපා දැමීමට මුදල් අමාත්‍යංශය යෝජනා කර තිබෙනවා. ඊට අදාලව කැබිනට් මණ්ඩලය වෙත විශේෂ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමට අදාලව පනවා ඇති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක වනු ඇත.

මෙම කැබිනට් පත්‍රිකාවට අනුව රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ්‍ය සිය වියදම් ඔවුන් විසින්ම කළමනාකරණය කරගත යුතු අතර අමතර මුදල් ප්‍රතිපාදන සඳහා ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතුය.

වියදම් කපා හැරීම සඳහා පසුගිය අයවැය යෝජනා යටතේ තීන්දු රැසක් ඉදිරිපත් කළ අතර මැති ඇමතිවරුන්ගේ හා රාජ්‍ය නිළධාරීන්ගේ ඉන්ධන දීමනා අවම කිරීමටද යෝජනා කර තිබිණි. දැනට ආරම්භ කර ඇති ඉදිකිරීම් වසර දෙකකින් කල්දැමීමට හා වසර දෙකක් යනතෙක් නව ඉදිකිරීම් ආරම්භ නොකිරීමටද මුදල් අමාත්‍යවරයා යෝජනා කර තිබිණි. මෙම යෝජනා දැඩිව ක්‍රියාත්මක කළයුතු බවයි මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලය වෙත යෝජනා කිරීමට සූදානම්ව සිටින්නේ.

නව ගොඩනැගිලි කුලියට ගැනීම් සිදු නොකළ යුතු බවට උපදෙස් ලබා දී ඇති අතර නව නිළධාරීන් බඳවා ගැනීමද අත්‍යවශ්‍ය තනතුරු සඳහා පමණක් වනු ඇත. විදේශ අධ්‍යයන චාරිකා සඳහා දේශීය අරමුදල් භාවිතා නොකිරීමටද තීරණය කර ඇත.

අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇති ව්‍යාපෘති හැරුණු විට වෙනත් කිසිදු ව්‍යාපෘතියක් සඳහා මුදල් ඉල්ලීමෙන් වළකින්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම ඇමතිවරුන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත .

රාජ්‍ය වියදම් සීමා කරමින් ඉකුත් දෙසැම්බර් මස 21 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛය සහ ඉකුත් ජනවාරි මස 12 වැනි දා නිකුත් කරන ලද චක්‍රලේඛයේ සදහන් නියෝග දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත .

ඒකාබද්ධ අරමුදලින් ඉන්ධන දීමනා ලබන ඇමතිවරුන්ගේ ,මන්ත්‍රීවරුන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ ඉන්ධන වියදම් සීමා කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත.

ඊට අමතරව රාජ්‍ය ආයතනවල දුරකථන,විදුලිය වියදම් ආදී සියලු වියදම් දැඩිව සීමා කරන්නැයි ද මුදල් අමාත්‍යංශය දන්වා ඇත .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles