Friday, November 29, 2024

පොහොර ඇතුව හරි නැතුව හරි මං ගොවියාගේ ආදායම 100%කින් වැඩි කරනවා – ජනපති අනුරපුරේ පොහොටිටු රැලිය අමතමින් කියයි

ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩුව කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

පොහොර ඇතිව හෝ නැතිව ගොවිජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහල නංවන බවට ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා දුන්නා.

ගොවි ජනතාව වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට තමා පසුබවට නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපතිවරයා කීවේ තමන් ගොවිජනතාවට දුන්  ප්‍රධානම  පොරොන්දු වූ  නොමිලයේ පොහොර දීමත්, සහතික මිල වැඩිකිරීමත්, ගොවි ජනතාවගෙන් උදුරාගත් ඉඩම් ආපසු ලබා දීමත් තමන්ගේ ප්‍රමුඛම කටයුත්ත ඉටු කර ඇති බවය.

මේ වනවිට ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබා දී ඇති බවත්, වී සඳහා සහතික මිලක් ලබා දී ඇති බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ එදා ගොවියා වෙනුවෙන් කිසිදු සහනයක් ලබා නොදුන් දේශපාලනඥයන්, රජයේ කාබනික වැඩපිළිවෙල විවේචනය කරමින් තමාටත් ආණ්ඩුවටත් විවිධ චෝදනා එල්ල කරන බවයි.

එපමණක් නොව ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ජාත්‍යන්තරය හමුවේ රට පාවාදීමට ගත් සියලු උත්සාහයන් පරාජය කර ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අද තමන් ජනතාව ඉදිරියට පැමිණ ඇත්තේ පොරොන්දු ඉටුකළ නායකයෙක් ලෙස බැවින් තමන් සම්බන්ධව විශ්වාසය තබන ලෙසත්, යළිත් එක් එක් දේශපාලන බලවේගවල බොරු ප්‍රචාරවලට රැවටී අමාරුවේ නොවැටෙන ලෙසත්,  කී ජනාධිපතිවරයා  තමන් ගොවි ජනතාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට කැප වී සිටින බවත් කීවේය.

මේ බිමේ සිට පළවෙනි ජනහමුවෙදි තමුන්නාසේලට පොරොන්දු වුන පරිදි පොහොර නිකම් දීම හා වී වල සහතික මිල වැඩි කරනවා කිරීම මගේ පළවෙනිම රාජකාරිය වුනේ එය බව මතක් කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැලි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඊයේ (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පොදුජන රැලිය පැවැත්විණ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“පොහොර නැතුව හරි ඇතුව හරි ගොවි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩිකරනවා. උදුර ගත්තු ඉඩම් ටික ලබාදුන්නා. ගොවිජනතාව වෙනුවෙන් කැපවෙන්න මම සූදානම්.උදුර ගත්තු ඉඩම් ටික ලබාදුන්නා. ගොවිජනතාව වෙනුවෙන් කැපවෙන්න මම සූදානම්.”

“කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය අද ගොවියව රවට්ටලා. රට අගාධයට ඇද දාන්න හදනවා.”

“පසුගිය අවුරුදු 5 මොකද කළේ. අන්තිමට බෝම්බ ගහලා නැවතුනේ. පොහොර නැතුව හරි ඇතුව හරි ගොවි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩිකරනවා.

“මාත් සමග එකතුවන්න. විශ්වාසය තබන්න. නැවතත් අපිට රට වහන්නට ඉඩ තියන්න එපා. එන්නත් ලබාගන්න.”

“වැඩවර්ජන කරන අයගෙන් මම ඉල්ලනවා.. ජනතාව දිහා බලන්න. ඔබේ වගකීම තියෙන්නේ ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි. ජනතාව වෙනුවෙන්.”

එදා මේ බිමේ ඉඳලාම මගේ පළවෙනි මැතිවරණ රැස්වීමේදි ජන හමුවෙදි මම තමුන්නාන්සේලාට පොරොන්දු වුනා පොහොර නොමිලේ දෙනවා, වී වල සහතික මිල වැඩි කරනවා කියලා මගේ පලවෙනි රාජකාරිය වුනේ එය බව තමුන්නාන්සේලාට මතක් කරන්න ඕනේ…..

මම අද කියනවා පොහොර නැතිව හරි, පොහොර එක්ක හරි, ගොවි ජනතාවගේ ආදායම 100%කින් වැඩි කරනවා කියන පොරොන්දුව මේ අවස්ථාවේදි තමුන්නාන්සේලාට මම දෙනවා

තමුන්නාන්සේලාට ඕන පොහොර දුන්නා, තමුන්නාන්සේලාට ඕන සහතික මුදල දුන්නා. මම පොරොන්දු වුනා තමුන්නාන්සේලාගෙන් උදුර ගත්ත ඉඩම් ටික නැවත ලබා දෙනවා කියලා මම ඒක ලබා දුන්නා…. ගොවි ජනතාව වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරන්නට කැපවෙලා ඉන්නවයි කියන එක මම මේ අවස්ථාවේ සහතික වෙනවා තමුන්නාන්සේලාට….

එදා අවුරුදු 05ක් පාලනය කරපු අය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය අද ජනාධිපති සිහින මවලා ගොවියව රවට්ටලා මේ රට අගාදයට ගෙනියන්න ලෑස්ති වෙනවා.

අවුරුදු ගණන් ඇමතිවරු වෙලා හිටිය සමහරු අවුරුදු 15ක් එක දිගට ඇමතිකම් කරපු අය අද එක එක බලවේග හදාගෙන ජනතාව අතරට ඇවිල්ලා, වෘත්තිකයන් එක්ක සම්මන්ත්‍රණ වලට ඇවිල්ලා බොරු කතා කරනවා. ඒ අය ඒ අය අවුරුදු 15ක් බලගතු ඇමතිවරු වෙලා හිටියා මොනවාද කළේ.

මම රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා ඔබේ වගකීම තියන්නේ ආණ්ඩුවට නෙමෙයි, ඔබේ වගකීම තියන්නේ ජනතාව වෙනුවෙන් මම රාජ්‍ය සේවකයින්ට කියන්න කැමතියි මේ අවුරුදු 03 ඇතුලත මම අනිවාර්යයෙන්ම සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරනවා.” යැයි ජනාධිපතිවරයා පැවසීය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අභියෝග හමුවේ රජය අත්පත් කරගත් ඉලක්ක පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන රැලි මාලාව සංවිධාන කරයි.

රැස්වීම් භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් විසින් පිළිගනු ලැබිණ.

මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට එදා කටයුතු කළාක් මෙන් දේශීය හා විදේශීය බලවේග එක්ව නැවත රජයේ ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරි පරම්පරාවේ සුබසිද්ධිය ඉලක්කගතව ක්‍රියාවට නැංවෙයි. එබැවින් කුමන බාධක පැමිණිය ද අඛණ්ඩව පෙරට යන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආණ්ඩුවට විරුද්ධව පාරට බැස වර්ජන කරන අය ආණ්ඩුව දෙස නොව ජනතාව දෙස බැලිය යුතුය. රාජ්‍ය සේවකයන් රටත් ජනතාවත් වෙනුවෙන් සේවයට කැපවිය යුතු වේ. පිබිදෙමින් පවතින ආර්ථිකය ආරක්ෂා කරගැනීමට රට නොවසා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ඉඩ තැබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ජී.එල්. පීරිස්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන, කේ.පී.එස්. කුමාරසිරි යන මහත්ම මහත්මීහු උත්සව සභාව ඇමතූහ.

මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු, උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමා, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මැති ඇමතිවරු, නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles