පසුගිය රජය සමයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වී මේ සභාවේ දින පහක් පමණක් සිටි මන්ත්‍රීවරයකු ගෙදර ගොස් ඇත්තේ ඔහුට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පිරිමි හෙදියක ලෙස කටයුතු කරන මේ හිටපු මන්ත්‍රීවරයා දැන් ජනතාවගේ දුක ගැන කතා කිරීමට පටන් ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිතගේ කරට අත දමා සිටි සමයේ ඔහුට තම ක්ෂේත්රයේ සේවකයන්ගේ වැටුප් විෂමතා ඇති බව කියා විසඳුම් ලබා ගැනීමට අමතක වූ බවද ඇමැතිවරයා කීය.
මේ වන විට ඔහු රටට ආදරෙයි ජනතාව දුක්විඳිනවා කියා වර්ජනයේ නිරත වෙමින් අසරණ රෝගීන් මරණයට පත් කරන බවත්, මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට එරෙහිව බය නැතිව තීරණයක් ගත යුතු බවත් ඇමැතිවරයා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කරට අතදාගෙන සිටි මේ පුද්ගලයා එසේ ඔඩොක්කුවේ සිටියදී සෞඛ්‍ය ක්ෂේත්රයේ වැටුප් විෂමතා ගැන කතා නොකළේ මන්දැයි තමා ප්‍රශ්න කරන බව අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
වසංගතයක් පවතින අවස්ථාවක ජනතාව බිල්ලට දෙමින් වැඩ වර්ජන පැවැත්වීම සාධාරණ නැතැයි පැවසූ අමාත්‍යවරයා විරුද්ධ පක්ෂයට අදහසවී ඇත්තේ ආණ්ඩු විරෝධී රැල්ලක් හැදීමට යැයිද ප්‍රකාශ කළේය.
මේ වැඩ වර්ජන කරන අයට හෙන ගහන්න ඕන කියලා කාන්තාවක් රූපවාහිනියේ පවසනු තමා ඊයේ දුටු බවද ඔහු කීවේය.