Sunday, September 22, 2024

මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ලංසු තැබූ චීන ජනපතිට ලිපියක් යොමු කරයි

කතාබහකට ලක්ව ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියේදී ලංසු තැබූ චීන සමාගම ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. ඒ, තම සමාගමේ කටයුතු පිළිබඳ විග්‍රහ කරමින් සහ මෙම කොන්ත්‍රාත්තුව තම සමාගමට ලබාදුනහොත් සිදුවන ලාභය ද සඳහන් කරමින්ය.

එම සමාගම පවසන්නේ ලෝකයේ පිළිගත් සමාගම් 500 අතරින් 92 වන ස්ථානය හිමි තම එම්.සී.සී.අයි සමාගම මේ වන විටත් ශ්‍රී ලංකාවේ සාර්ථක ව්‍යාපෘති දෙකක් නිම කර ඇති බවයි. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා පිටත වටරවුම් අධිවේගී මාර්ගය නියමිත කාලයටත් පෙර සම්පූර්ණ කර දුන්නේ තම සමාගම බවයි ඔවුන් පවසන්නේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ අදාළ කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේදී ශ්‍රී ලාංකික සමාගමක් ද මූල්‍ය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. කෙසේවෙතත් මූල්‍ය යෝජනා විවෘත කිරීමේදී එම සමාගමේ පමණක් මූල්‍ය යෝජනා විවෘත කර ඇති බව තමන්ට දැන ගැනීමට ලැබී ඇති බවයි චීන සමාගම ජනාධිපතිවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

චීන සමාගම ජනාධිපතිවරයාට යැවූ ලිපියේ දැක්වෙන්නේ මාර්ග කොටසේ ඉදිකිරීම් සඳහා වට්ටම් ද සමඟ ශ්‍රී ලංකා රජයට වසර 15 ක් තුළ තම සමාගමට ගෙවිය යුත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 1,050 ක් හෙවත් රුපියල් බිලියන 210 ක් පමණක් බවයි.

එහෙත් ශ්‍රී ලංකා සමාගමට මෙම ඉදිකිරීම් ලබාදුනහොත් අමෙරිකානු ඩොලර් මිලියන 1,872 ක් හෙවත් රුපියල් බිලියන 374 යි දශම 4 ක මුදලක් ශ්‍රී ලංකා රජයට වසර 15 ක් තුළ ගෙවීමට සිදුවන බවයි චීන සමාගම පවසන්නේ.

ඒ අනුව මෙම මාර්ග කොටස ඉදිකිරීම තම සමාගමට ලබාදීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 822 ක් හෙවත් රුපියල් බිලියන 164 යි දශම 4 ක ලාභයක් ශ්‍රී ලංකා රජයට සිදුවන බව චීන සමාගම පෙන්වා දෙනවා.

මෙම සමාගම ජනාධිපතිවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ චීනය යනු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයේදී දිගු කාලීන සහ හවුල්කාර මිතුරෙකු වන බවයි. එබැවින් මූල්‍ය යෝජනා විවෘත කිරීමේදී තම සමාගමටද අවස්ථාවක් ලබාදෙන ලෙසයි එම ලිපිය මඟින් ඉල්ලා ඇත්තේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලය පිළිබඳ කතාබහක් මතු වූයේ ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙකක් අවලංගු කිරීමත්, නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමත්, ඇතැම් තීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍යමය පාඩුවක් සිදුවන බවටත් වාර්තා පළ වීමත් සමඟයි.

– Neth

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles