මතුගම, බාලිකා පාර ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි ප්‍රහාරය පාතාල කල්ලි දෙකක් අතර පවතින පළිගැනීමක ප්‍රතිඵලයක් බව පොලීසිය පවසයි.
ඒ අනුව, මතුගම ශාන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයන් දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක පළ කෙරෙයි.
යතුරුපැදියකින් මතුගම, බාලිකා පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ රාත්‍රී 9.05 ට පමණය.
නිවසේ ඇති කරන සුනඛයාට රාත්‍රී ආහාර ලබාදීම සඳහා එම අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාව පිටතට පැමිණ තිබුණි.
එහිදී වෙඩික්කරුවන් දැක ඇය සැනින් නිවස තුළට දිවයන ආකාරය නිවසේ තිබූ CCTV කැමරාවල සටහන් වී ඇත.
කෙසේවෙතත් ටී56 ගිනි අවියක් රැගෙන පැමිණි සැකකරුවෙක් එම කාන්තාවගේ හිසට වෙඩි ප්‍රහාර 2ක් එල්ල කර තිබූ අතර ඇය එම ස්ථානයේදීම මියගොස් තිබේ.
එම අවස්ථාවේදී ඇයගේ සැමියා තම කුඩා පුතු සමග නිවසේ කාමරයක් තුළට ගොස් එහි දොර වසාගෙන සැඟවී ඇතැයි වාර්තා විය.
තුවක්කරුවන් අදාළ කාමරයට වෙඩි ප්‍රහාර 04ක් එල්ල කර එතැනින් පළාගොස් තිබුණි.
තවත් දරුවෙක් නිවසේ වෙනත් ස්ථානයක සැඟවී සිට තිබුණි.
එමෙන්ම මෙම නිවසට මීට දින 04කට පමණ පෙර CCTV කැමරා සවිකර ඇත්තේ යම්කිසි සිදුවීමක් වේයැයි නිවෙස් හිමියා වූ අසංක නැමැත්තාට ඇතිවූ සැකයක් මතය.
ඊයේ රාත්‍රීයේදීත් ඔහු මියගිය තම බිරිඳට දැනුම් දී තිබුණේ නිවසින් පිටතට නොයන ලෙසය.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය කාන්තාව 38 හැවිරිදි තිදරු මවකි.
පොලීසිය පැවසුවේ මතුගම ශාන් නමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති අතර මියගිය කාන්තාවගේ සැමියා ඔහුගේ ඥාතියෙකු වන බවය.
පසුගිය පෙබරවාරි 09 වනදා මතුගම ශාන් නැමැත්තාගේ බිරිඳට අයත් මතුගම ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකට පුද්ගලයෙක් පැමිණ කඩුවකින් පහරදීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.
අද දෙරණ