සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

0
262

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9වන ජාතික සම්මේලනය (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA), ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 දී පිහිටුවා ගත් සංවිධානයකි. විශ්වවිද්‍යාල මහාචාර්යවරු, කතිකාචාර්යවරු, වෘත්තීයවේදීහු, රජයේ පාසල්වල ගුරුවරු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 3,500කට ආසන්න පිරිසක් මෙහි සාමාජිකත්වය දරති.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9වන ජාතික සම්මේලනය සහ වාර්ෂික නිලවරණය අද පැවති අතර “හරිත ගුරුවරයා” වෙබ් අඩවිය විවෘත කිරීම සහ සංගමයේ හිටපු සභාපතිවරුන් හතර දෙනෙකුට සහ එක් සාමාජිකයෙකුට සමරු තිළිණ පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අමිත් පුස්සැල්ල මහතා සහ විධායක සභාවේ සාමාජිකයෝ ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිරිනැමූහ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, සිසිර ජයකොඩි, සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, වසන්ත යාපා බණ්ඩාර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here