කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සහ අක්කර 20,000ක භූමිය ඉන්දියානු සමාගමකට වසර 30ක් සඳහා බදුදීමට අදාලව සිදුවී ඇති දුෂණ සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සහ අදාල ගනුදෙනු අත්හිටුවීම ට කටයුතු කරන ලෙස ඉල්ලමින් ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දීර්ඝ ලිපියක් යොමුකර ඇත.
එම සම්පූර්ණ ලිපිය පහතින්,
අතිගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.
අතිගරු ජනාධිපතිතුමනි,
කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සහ අක්කර 20,000ක භූමිය ඉන්දියානු සමාගමකට වසර 30ක් සඳහා බදුදීමට අදාලව සිදුවී ඇති දුෂණ සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සහ අදාල ගනුදෙනු අත්හිටුවීම සඳහා කරනු ලබන ඉල්ලීම
වසර 25කට පෙර වසා දමන ලද කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් සම්පත් සහ භූමිය 2016දී ශ්‍රි ලංකාවට ඉතා අවාසිදායක ගිවිසුමක් යටතේ ඉන්දියානු සමාගමකට පවරාදීම නිසා රටට සිදුවූ පාඩුව සහ ඉන්පසුව එම වරද නිවැරදි කිරීම සඳහා බව පවසමින් අදාල වංචාකාර සමාගම සමඟ තවදුරටත් අවාසිදායක කොන්දේසි යටතේ නව ගිවිසුම් අත්සන් කිරීම බරපතළ ජාතික අපරාධයක් බව ඔබතුමා පිළිගන්නා බව අපගේ විශ්වාසයයි. එම විශ්වාසය මත පදනම්ව මෙම ලියවිල්ල ඔබතුමා වෙත යොමුකරන බව සැලකුව මැනවි.
1.පළමුවෙන්ම පසුගිය ආණ්ඩුව විසින් 2016.08.11 දින අත්සන් කළ කන්තලේ සීනි සමාගමේ කොටස් විකිණීමේ ගිවිසුම සහ ඊට පසුව අත්සන් කළ ඉඩම් බදු දීමේ ගිවිසුම නිසි පටිපාටියට අනුව සිදුකර නොමැති බව 2018 විගණකාධිපති වාර්තාව අනුව මෙන්ම ඉන්පසුව සිදුවූ අල්ලස් ලබාගැනීම, අයෝජකයින් අතර ඇතිවූ ගැටුම් සහ ඒ ආශ්‍රිතව නඩු පැවරීම සහ සිංගප්පූරුවේ බේරුම්කරන ක්‍රියාවලිය ආදී සිදුවීම් අනුව මූලික වශයෙන් පැහැදිලි වේ.
2. විගණකාධිපති වාර්තව අනුව වසර 25කට පෙර පිරිවැය අනුව ආයතනයේ ගබඩාවල තිබූ අමතර කොටස් ඇතුළු උපාංගවල වටිනාකම රු. මිලියන 47කට අධික වේ. ඊට අමතරව යන්ත්‍රසූත්‍ර ඇතුළු පැරණි යකඩවල වටිනාකම රු. මිලියන 540ක් වන අතර රජයේ තක්සේරුව අනුව අදාල ගොඩනැගිලිවල වටිනාකම රු. මිලියන 133කි.
3. ඒ සියල්ල එසේ තිබියදී M.G. Sugars Lanka Private Limited නැමැති ඉන්දියානු සමාගම සමඟ කොටස් විකිණිමේ ගිවිසුමට එළබෙන්නේ එම වටිනාකම් සැළකිල්ලට ගැනීමෙන් තොරව බව විගනකාධිපති වාර්තාව අනුව පැහැදිලි වේ.
4. එසේම අදාල අයෝජකයා තෝරාගනු ලබන්නේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව පුද්ගලිකව ඉදිරිපත්වන අයෝජකයින් දෙදෙනෙකු අතුරිනි. ඒ මගින්ද ප්‍රසම්පාදන පටිපාටි උල්ලංගණය වී ඇත.
5. අදාල ගිවිසුම අත්සන් කිරීමේදී එවකට සිටි භාණ්ඩාගාර ලේකම්වරයාට නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් සැළකිල්ලට ගෙන නොමැති බව 2016.08.01 දින නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් අනුව පැහැදිලිවේ.
6. ඊට අමතරව නීතිපතිවරයා විසින් 2016.08.01 දින නිකුත් කළ ලිපියට පසුව ගිවිසුම අත්සන් කළ 2016.08.11 දින අතර කාලය තුළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුදැනුම ඇතිව හෝ එසේ නොමැතිව කූඨ ලෙස නව වගන්තියක් ගිවිසුමට ඇතුළත්කර ඇත. බොහෝ විට ඊට භාණ්ඩාගාර ලේකම්වරයාට අමතරව මුදල් අමාත්‍යංශයේ නීති අංශ නිලධාරින් සහ මුදල් අමාත්‍යාංශය විසින් මුදල් ගෙවා කුලියට ලබාගත් නීති උපදේශකයින් වගකිව යුතු බව විගණකාධිපති වාර්තාව අනුව පැහැදිලි වේ.
7. එම “හොර වගන්තිය” නිසා ආයෝජකයාට ඉහත සඳහන් කළ මිලියන 587ක් වටිනා යකඩ, යන්ත්‍ර සූත්‍ර සහ අමතරකොටස්වල හිමිකම ලැබී ඇති අතර රජය සහ ආයෝජකයා අතර ගැටුමක් ඇතිවන්නේ එම අයිතිය ලබාදීම සඳහා යම් නිලධාරීන් විසින් අල්ලස් ඉල්ලා සිටීම නිසා බව පසුව පැහැදිලි විය. එම අයෝජකයා විසින් අදාල නිලධාරීන්ට රු. මිලියන 100ක අල්ලස් ලබාදීමට එකඟ වී ඉන් මිලියන 20ක් ලබාදීමේදී අදාල පුද්ගලයින් අත්අඩංගුවට පත්වූ බව වාර්තා විය.
8. ව්‍යාපෘති සමාගම ලෙස ඉදිරිපත්වන ඉන්දියානු සමාගම ඩොලර් මිලියන 100ක අයෝජනයන් සඳහා සිංගප්පූරු අයෝජකයෙකු (SLI) Development PTE Limited සමඟ ඇතිකරගන්නා ලද එකඟතාවයන් බිඳ දැමීම නිසා එම ආයෝජකයා විසින් ඉන්දියානු ව්‍යාපෘති සමාගමට එරෙහිව ශ්‍රි ලංකාවේ අධිකරණයක නඩු පවරා ඇත. ඒ අනුව ඉන්දියානු සමාගම මෙම අයෝජනය සඳහා ඉදිරිපත් වන්නේ මිලියන 587ක් වටිනා යකඩ විකුණාගැනීම මගින් ව්‍යාපාරයට අතගැසීම සඳහා වන කූඨ අරමුණ සහිතව බවට ප්‍රභල සැකයක් මතුවේ.
9. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ “හොර වගන්තිය” සහිත අදාල ගිවිසුම මගින් කාර්යසාධන ඇපයක් ලබා නොගැනීම නිසා ආයෝජකයින්ට වාසි සහගත තත්වයක් උදාවූ අතර ඔවුන්ට ගිවිසුම් ප්‍රකාරව සිංගප්පූරුවේ බේරුම්කරණය මගින් සිංගප්පූරු ඩොලර් ලක්ෂ 8ක් සහ රු.ලක්ෂ 2ක පමණ වන්දියක් සඳහා නියෝගයක් ලබාගැනීමට හැකිවිය.
10. ඒ අනුව අදාල ගිවිසුමේ අඩුපාඩු නිසා ශ්‍රී ලංකාවේ රජයට රු. මිලියන 135ක පමණ වන්දියක් ගෙවීමට සිදුවූ අතර වසර 5ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම නිසා ප්‍රදේශයේ මහජනයාට සහ සමස්ථයක් ලෙස රටට විශාල ආවස්ථික ආර්ථික පිරිවැයක් දැරීමට සිදුවිය.
එසේ වුවත් ඒ කිසිදු වරදක් හෝ වැරදිකරුවෙකු පිළිබඳව සොයා බැලීමකින් තොරව සහ අදාල සමාගම අසාදු ලේඛනගත කිරීම වෙනුවට එම වැරදිකාර සමාගම සමඟ වන්දි නොගෙවීමේ නාමයෙන් නැවත සාකච්ඡා ක්‍රියාවලියක් ආරම්භ කිරීම බරපතළ වරදක් බව පැහැදිලිවේ. විශේෂයෙන්ම අදාල දූෂිත ගනුදෙනුව අත්හිටුවීම වෙනුවට වරද නිවැරදි කිරීමේ නාමයෙන් අදාල වැරදිකාර සමාගම සමඟ ඔවුන්ට තවදුරටත් විශාල වශයෙන් වාසි සහගත ගිවිසුමකට එළඹිම මගින් වර්තමාන ආණ්ඩුවේ ජනවරම උල්ලංඝණය වන බව ඉතා පැහැදිලිය. සාමාන්‍ය ජනතාව එවැනි අඥාන ක්‍රියා හාස්‍යයට ලක්කරනු ලබන්නේ එක් පොල්බෑයක් රැගෙන දුවන බල්ලාට අනෙක් පොල් බෑයෙන් දමා ගැසීම වැනි උපමාවන් යොදා ගනිමිනි.
ඒ අනුව පසුගිය ආණ්ඩුව විසින් සිදුකළ වැරදි නිවැරදි කිරීම වෙනුවට වර්තමාන ආණ්ඩුව විසින් සිදුකළ වැරදි මාලාවේ බරපතලකම සාක්ෂි සහිතව මෙසේ අනාවරණය කළ හැක.
1. එම දෙවන ක්‍රියාවලියට අදාලව සැළකිල්ලට ගතයුතු ලේඛන පහත සඳහන් පරිදි වේ.
i. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හෝ නීතිපතිවරයාගේ අනුමැතිය නොමැතිව අයෝජකයින් සමඟ 2021.08.05 දින අත්සන් කළ අවබෝධතා ගිවිසුම (එම අවබෝධතා ගිවිසුම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට දැනුම්දෙනු ලබන්නේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව 2021.08.09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය. එසේම අමෙරිකානු නිව්ෆෝටේරස් සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම මෙන් මෙම ගිවිසුමට අදාලවද එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව න්‍යාය පත්‍රයට ඇතුල්කර අමාත්‍යවරුන්ට ලබාදී නොමැති බව සහ එම පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල රැස්වීම අවස්ථාවේදී ඉදිරිපත් කළ බව වාර්තාවේ. ඒ මගින් අමාත්‍යවරුන්ට අදාල පත්‍රිකාව පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමට තිබෙන අවස්ථාව අහිමි කෙරෙන බව ඉතා පැහැදිලිය.)
ii. අයෝජකයින් සමඟ අත්සන් කිරීම සඳහා 2022.02.07 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් අනුමැතිය ලබාගත් පරිපූරක ගිවිසුම (එනම් පසුගිය ආණ්ඩුව විසින් අත්සන් කළ ගිවිසුමේ අඩු පාඩු සහ වැරදි නිවැරදි කිරීම සඳහා සකස් කළ බවට ප්‍රකාශිත නව ප්‍රතිපාදන අඩංගු ගිවිසුම)
iii. බාහිර පාර්ශ්වයකට ව්‍යාපෘතියේ කළමනාකරණය පැවරීම සඳහා වන කළමනාකරණ ගිවිසුම
iv. ව්‍යාපෘති වාර්තාව හෙවත් ආයෝජකයින්ගේ වගකීම් දැක්වෙන යෝජනාව (එම ලේඛනයද අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකළ බව වාර්තා වේ.)
v. ඉඩම් බදු දීමට අදාල නව බදු ගිවිසුම (එම ගිවිසුමද) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර අනුමැතිය ලබාගෙන නැත.
2. මෙම නව ගිවිසුම් මගින් පසුගිය ආණ්ඩුව එකඟ නොවූ පහත සඳහන් නව ව්‍යාපෘති සහ ක්‍රියාමාර්ග සඳහා අයෝජකයාට අවසර ලබාදේ.
i. කළමනාකරණය වෙනත් බාහිර කළමනාකරණ සමාගමකට පැවරීම
ii. පිරිපහදු නොකළ සීනි මෙ.ටො. 250,000ක් හෙවත් රටේ අවශ්‍යතාවයෙන් බාගයක් අනයනය කර පිරිසිදු කිරීම මගින් ඒවා නැවත අපනයනය කිරීම සහ දේශීය වෙළඳපලට විකිණිම.
iii. එම පිරිපහදු නොකළ සීනි දියකිරීම මගින් මධ්‍යසාර නිපදවීම සහ ඒවා බෝතල්කර විකිණිම සඳහා අවසර ලබාදීම. (ඒ අනුව එම මධ්‍යසාර බෝතල්කර විකිණිමේ කර්මාන්තශාලාව අග්නිදිග ආසියාවේ විශාලතම අරක්කු කර්මාන්ත ශාලාව බවට පත්වීමේ ඉඩක් ඇත.)
iv. සමාගමේ කොටස් වෙනත් බාහිර පාර්ශ්වලට විකිණීම.
v. පිරිපහදු කළ සීනි ආනයනය කර දේශිය වෙළඳපලට විකිණීම.
vi. රජයට ලැබෙන ලාභ ප්‍රතිශතය පළමු වසර 10 තුළ 15%ක් සහ දෙවන වසර 10 තුළ 25%ක් දක්වා අඩු කිරීම.
3. අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සහ ගිවිසුම් අධ්‍යනය කරන නීතිපතිවරයා සඳහන් කරන්නේ ඉහත සඳහන් කළ යම් ප්‍රතිපාදන විශේෂයෙන්ම ආනයනික සීනි ප්‍රතිඅපනයනය සහ දේශිය වෙළඳපලට ඉදිරිපත් කිරීම මෙන්ම ආයෝජකයින්ගේ කොටස් ප්‍රමාණය වැඩි කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී නොමැති බවය. එසේම ආයෝජනය කරන මුදල් වැඩිකිරීම මත කොටස් ප්‍රමාණය වැඩි කිරීම ශ්‍රී ලංකාවේ රජයට අවාසි සහගත බවද නිතිපතිවරයා විසින් සඳහන්කර ඇත.
4. ඊට අමතරව එසේ නව ගිවිසුම මගින් ආයෝජකයාට අසීමිතව සහන ලබාදෙන්නේ සිංගප්පූරු බේරුම්කරන ක්‍රියාවලිය මගින් නියම කළ රු. මිලියන 135ක් පමණ වන වන්දියක් නොගෙවා සිටීමේ කොන්දේසි මත බව පැවසේ. නමුත් එම මුදල පරණ යකඩවල වටිනාකමින් හතරෙන් එක් කොටසකට වඩා අඩුවේ. (එම නිසා කිසිදු ගැටළුවකින් තොරව එම වන්දිය ගෙවා අදාල වංචාකාර සමාගම අසාදු ලේඛනගතකර මෙතෙක් ක්‍රියාත්මක නොවූ ගිවිසුම අහෝසි කිරීමේ හැකියාව ඇත.)
5. මෙම නව ගිවිසුම් මගින් පැරණි ගිවිසුම අනුව ආයෝජකයාට ලබාදීමට එකඟවූ එම යකඩ සහ අමතර කොටස් පිළිබඳව වෙනසක් සිදුකර නොමැති බව පැහැදිලි වේ. (එනම් රුපියල් මිලියන 135ක වන්දිය අත්හැරීම සඳහා රුපියල් මිලියන 587ක වාසියක් අදාල සමාගමට ලබාදේ)
6. එසේම නව ගිවිසුම් අත්සන් කිරීමේදී පසුගිය ආණ්ඩුව සිදුකළ ආකාරයට නීතිපතිවරයාගේ උපදෙස් නොසළකා කළමනාකරණ සමාගමට විවිධ ව්‍යාපෘති සඳහා වෙනත් පාර්ශ්ව වලින් ණය ලබාගැනීමට ඉඩ සලසා ඇත. ගිවිසුම අනුව ඒවා පිළිබඳව අවසන් වගකීම ශ්‍රී ලංකාවේ රජය මත පැටවේ.
7. ඒ සියල්ලට අමතරව උක්වගාව සහ සීනි පිරිපහදු කිරීම මෙන්ම ඊට අමතරව ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයාට අවස්ථාව ලැබෙන කිරි කර්මාන්තශාලා හෝ හෝටල් හෝ ඕනෑම අමතර ව්‍යාපෘතියක් සඳහා කන්තලේ වැවෙන් ජලය ලබාදීමට ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ රජය එක`ඟ වේ. එහිදී ආයෝජකයා පිරිවැයක් නොදරන නමුත් රජයද අයත්වන සමාගම මගින් ජලය මිලදී ගැනීමක් පිළිබඳවද සදහන්වීම, එනම් ගොවියාගේ ජල අයිතිය විකිණීම, බරපතළ තත්වයකි.
8. මෙම නව ගිවිසුම මගින් ආයෝජකයින්ට 49%ක කොටස් සහ භාණ්ඩාගාරයට 51%ක කොටස් අයිතිය ලාබුනද ලාභාංශ බෙදීමේදී (කළමනාකරණ සමාගමට ගෙවීම් සිදුකිරීමෙන් සහ ණය පොලී අදිය ගෙවීමෙන් පසුව ලාභයක් තිබෙනම්) එම ප්‍රතිශතය පළමු වසර 10දී 15%ක්, දෙවන වසර 10දී 25% ලෙස අඩු කිරීම කොටස් හිමිකම්වලට අදාල ප්‍රතිපත්තියට පටහැනි බවද පෙනේ.
9. ඊට අමතරව නව ගිවිසුම මගින් 2016 සිට එනම් වසර 5කට පෙර එකඟ වූ ආයෝජනය වන ඩොලර් මිලියන 100ක ප්‍රමාණය වැඩි විය යුතු බව සඳහන් වුවද ආයෝජකයා වැඩිපුර ආයෝජනය කළ යුතු මුදල් යොදවන ආකාරය ගිවිසුම තුළ නිශ්චිතව සඳහන් නොවේ. ඒ අනුව එම මුදල ණය වශයෙන් ලබාගන්නා බව පැහැදිලිවන අතර ඊට අදාල පිරිවැය ශ්‍රී ලංකාවේ රජයට දැරීමට සිදුවේ.
10. මෙම ගිවිසුම මගින් කන්තලේ සීනි සමාගම ආශ්‍රිත අක්කර 20,000කට අධික භූමිය පිළිබඳව ප්‍රමාණයක් සඳහන් නොකර බුක්තිය බාරදෙන බව සඳහන් වේ. ඊට අමතරව ගොවීන්ට ඉඩම් ලබාදීමේදී සමාගමද ඇතුළත්වන පාර්ශ්ව ත්‍රිත්වයක ගිවිසුම මත එය සිදුකරන බව සඳහන් වේ. ඒ අනුව අදාල සම්පූර්ණ ඉඩම සමාගමට බදු පදනමින් ලබාදෙන බව ගම්‍ය වේ. නමුත් සමාගමට ලබාදිය යුත්තේ කර්මාන්තශාලාව, නිවාස සහ පැල තවාන් සඳහා භූමිය පමණක් වන අතර සෙසු භූමිය රජය විසින් ගොවීන්ට ලබාදිය යුතුය. (එසේ නොවන තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ විශාලතම ඉඩම් පැවරීම ලෙස සැළකෙන මෙම ව්‍යාපෘතිය මගින් අදාල භූමිය ආයෝජකයා විසින් අවභාවිතා කිරීමට ඉඩ සැළසෙන අතර ගොවියාගේ ඉඩම් අයිතිය අභියෝගයට ලක්වේ.)
මෙම සියළු කරුණු අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ අදාල ගනුදෙනු පසුගිය රජය මෙන්ම වර්තමාන රජය විසින්ද විනිවිදභාවයකින් සහ මහජන වගවීමෙන් තොරව දූෂිත ආකාරයට සිදුකරන බවය. ඒ නිසා ඔබතුමාගේ ජනවරම අනුව මෙම ගනුදෙනුව වහාම අත්හිටුවා පසුගිය සහ වර්තමාන ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලීම සඳහා කොමිසමක් පත්කරන ලෙස පළමුවෙන්ම ඉල්ලා සිටිමි. දෙවනුව අදාල දූෂිත විදේශිය සමාගම් අසාදු ලේඛන ගතකර මෙම ව්‍යාපෘතිය දේශිය ආයෝජකයින් මගින් සිදුකරන ලෙස ඉල්ලා සිටින අතර ඒ සඳහා අවංක දේශිය ආයෝජකයෙකු සොයා දිය හැකි බවද අවධාරණය කරමි. තුන්වනුව 2004 දී මෙම ව්‍යාපෘතියට අදාලව සකස් කළ සැලසුම අනුව එම භූමියට අයත් මහවැලි ගගේ අතු ගංඟාවක් වන කළු ගඟ ආශිතව ජලාශයක් ඉදිකිරීම තුළින් කන්තලේ වැවේ ජලය මෙම ව්‍යාපෘතිය සඳහා ලබාගැනීම වැළැක්වීම මගින් ගොවීන්ගේ ජල අයිතිය ආරක්ෂා කරන ලෙසද ඉල්ලා සිටිමි.
මේ වගට,
ආචාර්ය ගුණදාස අමරසේකර
කාඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2022-02-18