Sunday, September 22, 2024

යුක්‍රේන -රුසියා අර්බුදය ලෝක තෙල් මිලටත් බලපායි

යුක්‍රේන -රුසියා අර්බුදය ලොව පුරා සැපයුම් දාම කඩාකප්පල් කරනු ඇතැයි යන බිය මත තෙල් මිල ඉහළ යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමෙන් පසු රුසියාව යුක්‍රේනයේ නැගෙනහිර කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශ දෙකකට හමුදා අණදීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල වසර හතක ඉහළම අගය වූ ඩොලර් 97.44 දක්වා ළඟා වී තිබෙන බවයි සඳහන් වන්නේ.

එක්සත් රාජධානිය සහ බටහිර මිත්‍ර රටවල් කිහිපයක් රුසියාවට සම්බාධක පනවන බවට දැනුම් දී තිබෙනවා.රුසියාව ප්‍රකාශ කර තිබෙන්නේ තම හමුදා ස්වයං ප්‍රකාශිත ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් මහජන සමූහාන්ඩු වල “සාම සාධක” වල නිරත වන බවයි.

එහෙත් ඔවුන් සාම සාධක භටයන් ලෙස හැඳින්වීම “විහිළුවක් ” බවත්, රුසියාව යුද්ධය සඳහා සුදානමක සිටින බවත් එක්සත් ජනපදය පවසා තිබෙනවා.

ෆිඩලිටි ඉන්ටර්නැෂනල් හි ආයෝජන අධ්‍යක්ෂ Maike Currie පවසා තිබෙන්නේ යුක්‍රේන අර්බුදය, එක්සත් ජනපදයේ ශීත ඝෘතුව සහ ලොව පුරා තෙල් හා ගෑස් සැපයුම් සඳහා ආයෝජන නොමැතිකම හේතුවෙන් තෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවිය හැකි බවයි.

ගෝලීය වශයෙන් පරිභෝජනය කරන සෑම තෙල් බැරල් 10 කින්ම එකක් රුසියාවට අයත් වන බවත් එබැවින් තෙල් මිල සම්බන්ධයෙන් එය ප්‍රධාන බවත් ඇය පවසනවා..

මෙි අතර යුක්රේන – රුසියානු අර්බුදය හමුවේ මෙරටට ඇතිවන බලපෑම් අවම කර ගැනීම සඳහා අපක්ෂපාතී නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වහා පියවර ගත යුතු බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කළේ දෙරට අතර පවතින එම අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන සහ ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමක් සිදු වුවහොත් යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහ සංචාරකයන්ට යළි මෙරටට පැමිණීමේ ගැටලු ඇතිවිය හැකි වනවා.

රාජ්‍ය තාන්ත්‍රික විචාරකයන් අවධාරණය කරන්නේ යුධමය තත්වයක් ඇතිවුවහොත් යුක්‍රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ මූලික අවශ්‍යතා සපුරාලීම පිළිබඳව මෙරට රජය දැන් සිටම පූර්ව සූදානමින් පසුවිය යුතු බවයි.

ඒ ඒ පාර්ශ්වයන්ට සහය දක්වන ප්‍රබල රටවල් මගින් රුසියාවේ සහ යුක්රේනයේ බැංකු පද්ධති ආශ්‍රිතව පවා සම්බාධක පැනවීමේ අවදානමක් පවතින බැවින් ඊට විකල්ප ක්‍රමවේදයන් සැලසුම් කර ගැනීම සඳහා අදාළ දැනුම් දීමේ කටයුතු සිදුකල යුතු බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

නැගෙනහිර යුක්රේනයේ පිහිටි ඩෝන්බාස් පළාතේ ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් ප්‍රදේශයන් වෙනම ජනරජයක් ලෙස රුසියාව පිළිගන්නා බව පුටින් සඳුදා ප්‍රකාශ කර ඇති අතර යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් මින්ස්ක් සාම ගිවිසුම් තවදුරටත් නොපවතින බව ප්‍රකාශ කළේය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියාවට නව සම්බාධක පැනවූ අතර, රුසියානු නීති සම්පාදකයින් යුක්රේන කලාප දෙකක “සාම සාධක භටයන්” යෙදවීමට පුටින්ගේ අනුමැතිය ලබා දීමත් සමඟ යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ වී ඇති බව ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles